ranil-speaks

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පුර්ණ බලතල ගෙන දැන්වත් ජීවිත බේරා ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (10) පැවැසීය.  කොරෝනා මර්දනය සම්බන්ධයෙන් දැනට පත් කර ඇති ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථක වී තිබෙන හෙයින් ජනතාව ගැන අනුකම්පාව තිබෙනවා නම් කැබිනට් මණ්ඩලයට බලය ගෙන ඉදිරි තීරණ ගන්නැයි ඉල්ලා සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.


“මේ වනවිට ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනය උග්‍ර තත්ත්වයකට  මුහුණ දී තිබෙනවා.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටිලා. මේ වනවිට කොරෝනා වසංගතය ලංකාව පුරාම පැතිරෙමින් තිබෙනවා. එමෙන්ම ඔක්සිජන් හිඟය ද තිබෙනවා. වෙන්ටිෙලටර් හිඟයක් පවතිනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තිබෙනවා. කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරි ගිහිල්ලා. දිනෙන් දින ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය වැඩිවෙමින් තිබෙනවා. මේ වනවිට රට තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවකයි. වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි තීරණ  නොගත්තොත් සියලු ලාංකිකයන් අමාරුවේ වැටෙනවා. එමෙන්ම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවත් කොරෝනා අවදානම් මට්ටමකට පැමිණ තිබෙන බව සඳහන් වෙනවා. ඒ වාර්තා අනුව කොරෝනා රෝගයෙන් ජුනි - ජුලි මාස වනවිට දිනකට සියයකට ආසන්න පිරිසක් මිය යා හැකි බව දක්වා තිබෙනවා. ඒ නිසා මෙම තීරණාත්මක අවස්ථාවේදී සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි.


මේ ආණ්ඩුවේ නම  බේරා ගැනීමේ සටනක් නොවෙයි. එමෙන්ම මෙය දේශපාලන සටනක් ද නොවෙයි. මෙය ජනතාවගේ ජිවිත බේරා ගැනීමේ සටනක් බව කිව යුතුයි.

ආණ්ඩු මාරු කරන්නැයි කියා අප මේ අවස්ථාවේදී කියන්නේ නැහැ. ජනතාවගේ වගකීම තිබෙන්නේ කැබිනට මණ්ඩලයටයි.  ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද එතැනට සම්පුර්ණ බලතල ගත යුතුයි. දැන් පවතින ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථකයි. අප මේ ගැන කලින්ම අනතුරු හැඟවුවත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියා කළේ නැහැ. මේ කාරණා නිසා දැන් ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. කැබිනට් මණ්ඩලයට බලතල දෙන්නැයි මා කියන්නේ ඒ නිසයි. මේ සතියේදීම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් සමග කතා කරන්න. ඒ අයගේ සහයෝගය සහ අදහස් ගන්න. ඒ අයත් මේ සඳහා සහයෝගය දිය යුතුව තිබෙනවා. වසංගතය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කළේ නැති නම් ජීවිත ගණනාවක් නැති වේවි. ජනතාව  සම්බන්ධයෙන් අනුකම්පාවක් තිබෙනවා නම් කැබිනට මණ්ඩලයේ සහයෝගය ද ගෙන ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලා සිටිනවා.” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-අංජුල මහික -