ransegoda-incident

පවුල් ආරවුලක් දුරදිග ගොස් ඇති වූ සිද්ධියක් මත මාස දෙකක් වයසැති සිය සිගිති දරුවා එල්ලා මැරීමට උත්සාහ කළ බව කියන මාතර රංසෑගොඩ බෙරලිය අතුර ප්‍රදේශයේ පදිංචි පියකු මේ මස 28 වැනි දක්වා රක්ෂිතයට බන්ධනාගාරගත කරන ලෙස දෙයියන්දර වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික ජයතුංග මහතා ඉකුත් දා නියෝග කළේය.  මීට ඉහත සිය නැන්දම්මාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන අතර එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි නැන්දම්මාට පවසන ලෙස බලකරමින් ඔහු බිරිදට තරවටු කර ඇති බව ද පොලීසිය අධිකරණයට වාර්තා කළේය.




 පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමට බිරිය සිය අම්මාට බලපෑම් නොකිරීම නිසා කෝපයට පත් සැකකරු මාස දෙකක් වයසැති සිගිති දරුවා නිවස පිටුපස දොඩම් ගසක එල්ලා ඔහු ද එල්ලී සිය දිවි හානි කරගැනීමට උත්සාහ කර ඇතැයි ද පොලීසිය කියයි.  බිරිය වහා මැදිහත් වී දරුවා බේරාගෙන ඔහුට ද එල්ලීමට ඉඩ නොතබා ප්‍රදේශවාසීන්ගෙන් ආධාර ඉල්ලා ඇතැයි ද පොලීසිය කියයි. සිද්ධිය සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලීසිය නිවස පිටුපස කැලෑරොදක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.



-ප්‍රීති ජයවර්ධන-