රේණුක පෙරේරා නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයාය. රාජ්‍ය බලය තුනෙන් දෙකක බලයක් සහිතව ලබා ගත හැකි සේ පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේ කාර්යයෙහි පුරෝගාමී චරිත කිහිපය අතරින් ඔහුද ප්‍රමුඛයෙකි. ඔහු පොදු ජන පෙරමුණේ පාලක ලේකම්වරයාය.
දශක ගණනක් පුරා මහා දේශපාලන ප්‍රවාහ හා ගැටී ගැටී ඇද වැටෙමින් නැඟී සිටිමින් බිඳ නොවැටී ඔහු පැමිණි ගමන සම්බන්ධව කෙටි පිළිසඳරකට මෙවර රසඳුන ඉඩ හසර වෙන් වන්නේය.
කෙටි සාද කතා බහකින් අනතුරුව රේණුක පෙරේරා සිය ජීවිත මතක පෙළ ගස්වන්නට වූයේය.
“ මම ඉපදුණේ කොටිකාවත්ත ගමේ. ඒ වකවානුවේ කොටිකාවත්ත හරිම ලස්සන ගමක්. ගම මැද්දෙන් පිරිසුදු වතුර පිරුණු ඇළ පාරක් ගලා ගෙන ගියා. අපට ඒ ඇල දොළේ කෙළිෙදළෙන් ගත කළ ළමා කාලයක් තිබුණා. ළිංවලින් වතුර ගත්තෙ. කොටිකාවත්ත කියන්නේ ජල ගැලුම් කලාපයක්. අවුරුද්දකට සැරයක් වතුරෙන් ගම යටවෙනවා. ඒ කාලයෙ ගම ඇතුළේ පුදුමාකාර එකමුතුකමක් සහිත සංස්කෘතියක් හැදිලා තිබුණා විපත්වලට මුහුණ දෙන්න.“
“මගෙ පවුලේ අම්මා තාත්තා එක්ක සහෝදරයෝ තුනක් සහ සහෝදරියක් හිටියා. මම මූලික අධ්‍යාපනය ලබන්නෙ කොටිකාවත්ත රෝමානු කතෝලික විද්‍යාලය සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. උසස් පෙළ කරන්න කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ගියා. දේශපාලනයට මගේ උනන්දුව තිබුණේ පාසල් වකවානුවේ ඉඳලමයි. දේශපාලන රැස්වීම් බලන්න, පෙළපාළි බලන්න ගියේ පාසල් අවධියේදිමයි.
“මගෙ තාත්තා ව්‍යාපාරිකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. පාසල් වකවානුවෙන් පස්සේ මගෙ සහෝදරයොත් තාත්තගෙ ව්‍යාපාර කටයුතුවලට එකතු වුණා. නමුත් මට දේශපාලනය විනා ව්‍යාපාර සම්බන්ධව ලොකු උනන්දුවක් තිබුණේ නෑ.“
“දේශපාලනය සඳහා වූ මේ පෙලඹවීමට පවුල තුළින්ම ආපු හේතුවකුත් තිබුණා. ඒ වකවානුවෙදි මගේ තාත්තාගෙ සම්බන්ධයක් තිබුණා දිවංගත ටී. බී ඉලංගරත්න මැතිතුමාත් එක්ක. ඒ නිසාම තරුණ අවධියෙදි මටත් එතුමා එක්ක සමීප සම්බන්ධම් ඇතිකරගන්න පුළුවන් වුණා. වසර 1977 මහ මැතිවරණයෙන් ඉලංගරත්න මහත්මයා පරාජය වුණා. ඒ පරාජය එක්ක ඉතාම නරක දේශපාලන පළිගැනීම් ගණනාවක් රට පුරාම සිදු වුණා. “
මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි වුණා. තාත්තා පැවැති රජයට හිතවත් දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වුණා. දින 05ක් බන්ධනාගාරගත කළා. පසුව දිගින් දිගටම මගෙ තාත්තගෙ ව්‍යාපාරවලට රජය බාධා කළා.
මෙන්න මේ දේශපාලන පීඩනය මා වැඩි වශයෙන් දේශපාලනයට නැඹුරු කළා. මේ අසාධාරණයට එරෙහිව ප්‍රතිරෝධයක් ඇති කිරීමේ පරමාර්ථයෙන් තමයි මම දේශපාලනයට ප්‍රවේශ වෙන්නේ.
මම ක්‍රියාශීලී දේශපාලනයට එන්නේ 1982 මහ මැතිවරණයෙ දී. එතකොට මට වයස අවුරුදු 22යි. දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණු වෙලාවේ ඔහුගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකාරී වුණා.
ඒ මැතිවරණයෙන් පස්සේ විජය කුමාරතුංග ඇතුළු අපේ ක්‍රියාකාරිකයන්ට එවකට රජය හිරිහැර කළා. මමත් නැක්සලයිට් චෝදනාව යටතේ වරාය පොලිසියේ මාස එක හමාරක් රඳවා ගත්තා. නැවත බන්ධනාගාර ගත කළා. ඊළඟට ලාම්පු කළගෙඩි සෙල්ලම ලෙස අදත් නම් කරන කුප්‍රකට ජනමත විචාරණයේ දී මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන්න ගිහින් සති දෙකකට මා යළිත් බන්ධනාගාරගත කළා. “
“අපි ඒ දේශපාලනය තුළ අත් වින්දේම පළිගැනීම්, හිංසා කිරීම්. මට අවශ්‍ය වුණා එහෙම නැති සාධාරණ දේශපාලන සමාජයක් ඇති වෙනවා දකින්න. පළවෙනි පාර මාව පොලිස් අත්අඩංගුවට ගත්තු වෙලාවේ මගෙ අම්මා අඬනවා දැක්කාහම මම අධිෂ්ඨාන කරගත්තා මේ රටේ කිසිම මවකට හෝ බිරියකට මෙවැනි අත්දැකීමක් ඇති නොකරන දේශපාලන සංස්කෘතියක් හදන්න. අඩුම ගානෙ මම මගේ සීමාව තුළවත් එය ප්‍රතිපත්තියක් ලෙස ආරක්ෂා කළා. බලයක් සහිතව සිටි කිසිම අවස්ථාවක මට හිරිහැර කළ කිසිම කෙනකුගෙන් පළිගන්න මා උත්සාහ කළේ නෑ.“
පූර්ණ කාලීන දේශපාලකයෙක් ලෙස ඔහු කෙටි කලක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. වාර තුනක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය. වරෙක ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයා වූයේ රේණුක පෙරේරාය. 2015 පරාජයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා හා එක්ව, මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කිරීමේ කටයුත්තට මුල් වූ අතළොස්ස අතර රේණුකත් කෙනෙකි. ඔහු එදා සිට අද දක්වා පොදු ජන පෙරමුණේ පාලක ලේකම්වරයාය.
රේණුක අප සමඟ පවසන ජීවිත දැක්ම තුළ සැකසුණු දේශපාලන ගමන සංයමයෙන් පිරි එකකි. ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික පරිසරය සිය පියා නිර්මාණය කර දුන් අයුරුත්, පෙර පාසල් ගුරුවරියක වූ බිරිය නිවෙසේම ඇරඹූ පෙර පාසල සාර්ථක සමාජ මෙන්ම ආර්ථික ඵලයක් වූ අයුරුත් ඔහු කියන්නේ. කිසි දා මත්පැන් හෝ මත්ද්‍රව්‍යකට නොතැබූ ඔහුට අනවශ්‍ය වියදම්, මිතුරු හමු, නිස්කාරණ සාද නැත. ජීවිතය සරල වනවිට සියල්ල පහසුවන ආකාරය ඔහු අපට කියන්නේය.
“ දේශපාලනය නිසා ගිලිහුණු දෙයක් හෝ අත්පත් කරගත් විශේෂ සම්පත් ප්‍රමාණයක් මට නෑ. දේශපාලනය කළේ දේපළ වත්කම් හිමිකරගන්න නොවෙයි. පරමාර්ථය වුණේ රටට යහපතක් වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න. රටට බරක් නොවී දරුවෝ දෙන්නා සමාජයට මුදා හරින්න. මම ඒ දේ කළා. මගේ දේශපාලනය ඇතුළේ අගතිගාමී කිසිම දෙයක් කරලා නෑ. පක්ෂ විපක්ෂ දේශපාලකයන් හැමෝම මා සමඟ ප්‍රිය වෙන්නේ මගෙ ප්‍රතිපත්ති සහිත දේශපාලනය නිසා.
මමයි බිරියයි දරුවෝ දෙන්නට හොඳින් ඉගැන්නුවා. ලොකු පුතා විෂ්ව විමුක්ති හා බාල පුතා චතුර චමුපති. ඔවුන් දෙන්නා නීතිඥවරු. ඔවුන්ගෙ අධ්‍යාපනය ඒ මට්ටමට ගේන්න මගේ බිරිය අසීමිත කැප කිරීම් කළා. මම ආර්ථිකව බිඳ වැටුණු වකවානු තිබුණා. ඒ කිසිම අවස්ථාවක ඇය මට ඒ අපහසුකම් පෙන්නුවේ නෑ. ඇය ගෙදර කළමනාකරණය කළා. ඇය ආගම දහමට නැඹුරු වුණු ඉතාම ගුණ සම්පන්න කාන්තාවක්.
මගේ දරුවො දෙන්න හැදුණෙත් ඒ අධ්‍යාත්මික පරිසරයෙ. ඔවුන් දෙදෙනාත් මත්පැන්, මත්ද්‍රව්‍යවලට හුරු වූ අය නොවෙයි. ඔවුන් දිහා ආඩම්බරෙන් බලලා සතුටු වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් මම. මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා මට හිතෙනවා. මම දැන් මගෙ ජීවිතේ සුන්දර කාලයක් ගතකරමින් ඉන්නේ...“
රේණුක අප සමඟ පවසන්නේ තෘප්තියෙනි. නිවාස සංවර්ධනස අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ තමා වෙත පැවරී තිබුණු වෘත්තිය වගකීම් සම්බන්ධව ඔහු සෑහීමකට පත් වී සිටී.
“මට ඒ වගකීම භාර දුන්නේ රටේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. මගේ විෂය භාර ඇමතිතුමා වුණේ අගමැතිතුමයි. අපේ ඉලක්කය වුණේ මේ රටේ නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීමයි. මා ඒ තනතුරේ සේවය කළ මාස 14 තුළ මට ලබා දුන් ඒ ඉලක්ක වෙත යන්න මට හැකි වුණා. කොවිඩ් උවදුරු මධ්‍යයේ පවා අප නිවාස අහිමි පුද්ගලයන් 9,972කට නිවාස හදලා දුන්නා.“
“මා ඒ තනතුරට වසර 1යි මාස 4කට පෙර පත්වන විට එම ආයතනයේ නාස්තිය හා දූෂණය ඉහළටම තිබ්බා. හැමෝගෙම සහයෝගයෙන් මට වාර්ෂිකව බිලියනයක වියදම් කපා දමන්න හැකි වුණා. ආදායම් මට්ටම ඉතා පහළ තැනක තිබ්බේ. කොවිඩ් උවදුරු මධ්‍යයේ වුවත් මාසයක ආදායම මිලියන 300ක් ගෙනාවා. මට ඒ ගැන සතුටුයි. මම හැමදාම හොරකමට සහ දුෂණයට විරුද්ධයි”.
මේ දේශපාලනික කතා අතර රේණුකගේ ජීවිතය ගෙවී ගිය රිද්මය ගැන කතා බහක් ඇති කරගන්නට උත්සාහ කළෙමු. එය අතීතයේ එක් මිහිරි ඉසව්වක මතක සමඟ ඇරඹීමට ඔහුට ඉඩ හැර අසාගෙන සිටියෙමු.
ඇය ඔහුට හමුවූ අයුරු... ඔහු ඒ මතකය සිහිකරන්නේ සිනාසෙමිනි.
“ ඒ 1985 අවුරුද්ද.. මම හිටියෙ මහ ගෙදර. මගේ අම්මා ගාව තමයි අක්කගෙ පොඩි දරුවා හැදුණේ. දරුවා පෙර පාසල් එක්ක යෑමේ වගකීම තිබුණෙ මට. අම්මයි දරුවයි පෙර පාසල් එක්ක යනවා. නැවත එක්ක එනවා. දරුවගෙ පෙර පාසල් ගුරුවරිය හරිම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අන්තිමට ඇයව අපේ ගෙදර එක්ක ආවා...“ එසේ ඒ සුන්දර මතකය අවදි කරමින් ඔහු සිනාසෙනවිට රේණුකගේ ආදරණීය ජීවන සහකාරිය නිල්වලා ධනලක්ෂ්මි ද සිනාසෙමින් කතාවට එකතු වන්නීය.
“ මට පෙනුණේ ලොකු වගකීම් සහිතව, මානුෂික දැක්මක් එක්ක, සමාජ අවබෝධයක් තිබෙන තරුණයෙක්. එහෙම කෙනෙක් එක්ක ජීවිතය පටන් ගන්න මොනම තරුණ ගැහැනු ළමයෙක්වත් අකමැති නෑ...“ ඇය කියන්නීය. ඒ ගමන මොන තරම් සාර්ථක ස්ථාවර දිගුවක් කරා ගමන් කර ඇති දැයි ඔවුන්ගේ ජීවිත දෙස් දෙයි.
“අපි විවාහ වුණේ 1988 භීෂණ කාලෙදි. ඒ වෙනකොට මට ලොකු ජීවිත තර්ජනයක් තිබ්බා ආණ්ඩුවෙන් වගේම භීෂණ කල්ලිවලින්. ඉන්න තැන අත්හැරලා සැඟවෙන්න සිද්ධ වුණා. අපේ කුලුඳුල් දරුවා නැති වෙන්නේ ඒ භීෂණ කාලේ සිදුවුණ සිදුවීම්වල ප්‍රතිඵලයක් විදිහට. ඒ දවස්වල ඇය මට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියන බලපෑම දිගටම කළා.“රේණුක බිරිය පෙන්වා කියන්නේය. එහෙත් ඇය පසු කාලීනව අවාබෝධයෙන් යුතුව දේශපාලකයෙකුගේ බිරියකගේ වගකීම ඉටු කළාය. ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දුන්නාය. ඒ කුටුම්භය ප්‍රියමනාප තැනක් වන්නේ ඔවුන් ගේ අවබෝධාත්මක ජීවිත කළමනාකරණය තුළිනි.
“ මගෙ විවේකය ගත වෙන්නේ ගෙදර. මා කවදාවත් රාජකාරි කටයුතු ගේන්නෙ නෑ. දෛනිකව තියන වගකීම් කෙසේ හෝ ඉවර කරනවා. රාත්‍රී කාලයේ අපි හතර දෙනාම එකට කෑම කන්න, එකට කතා බහ කරන්න කාලය හදා ගන්නවා. මේ වෙලාව හදා ගන්න මට හරිම පහසුයි. මිතුරු ඇසුරකට සාදවලට සහභාගී වීම ඉතාම අඩුයි. නිවාඩු ලැබුණ දිනයක පවුලේ කට්ටියත් එක්ක එළියට යනවා...“
අප මේ ප්‍රීතිමත් මිනිසුන් සමඟ කළ කෙටි සංවාදය හමා කිරීමට පෙර ඔහුගෙන් යළිත් විමසුවෙමු.
“ඔබ තාත්තා කෙනෙක්, සැමියෙක් විදිහට තෘප්තිමත්. දේශපාලකයෙක් විදිහට ඔබ තෘප්තිමත් ද?.“
ඔහු මඳක් නිහඬව සිටියේය. අවසානයේ දී කටහඬ අවදි කළේය.
“මට ඒකට කියන්න තියෙන්නෙ මේ වගේ දෙයක්.
මා පුළුවන් උපරිමයෙන් මගෙ රටට වැඩක් කරනවා. ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරනවා. මට තියන පරමාර්ථ දේශපාලන ඉලක්කය මට ඉෂ්ට කරගන්න පුළුවන් වේවි ද දන්නෙ නෑ. ඒ තමයි ජාතීන් අතර එකමුතු කම ඇති කිරීම. ඒ වෙනුවෙන් අපි විශාල කැප කිරීම් කළා. හැබැයි ඒ උත්සාහයන් සාර්ථක වුණේ නෑ. මට තියන වේදනාව ජාතීන් විදිහට බෙදිලා හිටපු අපි දැන් ආගම් විදිහටත් බෙදී වෙන් වෙමින් හිඳීම. මේ දේශපාලන පරිසරය වෙනස් කරන්න මගෙ ජීවිත කාලය තුළ දී අවස්ථාවක් ලැබුණොත් මගෙ දේශපාලන ජීවිතය සම්පූර්ණයි කියලා හිතෙනවා. මගෙ දරුවන්ට බෝම්බ පුපුරවන සමාජයක් හදන්න මට වුවමනා නෑ.
සාකච්ඡාව - ටානියා මෝසස්
ඡායාරූප - සුදත් මලවීර
0 Comments