රුසියාවේ නිෂ්පාදිත එම් අයි 17වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා හතරක් ගෙන්වීමට සූදානම් කර ඇතැයි ගුවන් හමුදා මූලස්ථානය පවසයි.එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරි සඳහා මෙම හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ද ගුවන් හමුදාව සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවැසුවේ රුසියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර වසර ගණනාවක සිට සිදු වූ සාකඡාවලට ප්‍රතිඵලයක් ලෙස, රුසියානු යුදමය ආධාර යටතේ මෙම හෙලිකොප්ටර් යානා හතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්,

ආරක්ෂක අමාත්‍යාංශය හරහා ගෙන්වන එම යානා වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් මේ අවස්ථාවේදී වැය නොවන බවත්ය.ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරි සඳහා අනුයුක්තව කටයුතු කරන අතර ඒ සඳහා ගුවන් හමුදා ගුවන් යානා බලගණ දෙකක් දකුණු සූඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු රජයේ සාමසාධක රාජකාරි සඳහා යොදවා ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම බලගණ මගින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 112ක (ශ්‍රී ලංකා මුදලින්  රුපියල් මිලියන 22,400ක්) පමණ මුදලක් මෙරට මහා භාණ්ඩාගාරයට ලැබෙන බවත්,රුසියාවෙන් ගෙන්වීමට සූදානම් කර ඇති  හෙලිකොප්ටර් යානා 4 ද එක්සත් ජාතීන්ගේ  සාමසාධක හමුදා රාජකාරි සඳහා යෙදවීමට නියමිතව ඇති බවත් ඔහු පැවැසීය.

" ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 6ක් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරී මෙහෙයුම් සඳහා සක්‍රියව දායකත්වය සපයන අතර යම්  හෙයකින් මෙම මෙහෙයුම් අතරතුර ගුවන් යානා අක්‍රිය වුවහොත් එම මෙහෙයුම්වලින් ලංකාවට ඉවත්වීමට සිදුවනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 1993 වසරේ දී පළමු වරට එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මෙරටට ගෙන්වනු ලැබූ අතර මේ වනවිට එවැනි හෙලිකොප්ටර් යානා 21ක් පවතින අතර ඉන් 10ක් පමණ ක්‍රියාකාරීව පවතින බව ද අනෙක් ඒවා අලුත්වැඩියා කළ යුතු බව ද ඔහු පැවැසීය. එම යානා අලුත්වැඩියා කිරීම සඳහා නිෂ්පාදිත රටවලටම යැවිය යුතුව ඇති බවත්, වර්ෂ 2015 සිට 2019 කාලසීමාව තුළදී කිසිදු ගුවන් යානයක් අලුත්වැඩියා සඳහා ඉදිරිපත් කර නොමැති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 (නිමන්ති රණසිංහ)