saman-lal-fernando

මොරටුව ප්‍රදේශයේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමේදී තමන් නිකුත් කළ තුණ්ඩු අනුව එන්නත් ලබා දිය යුතු බවට ‌මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පැමිණ ප්‍රකාශ කිරීම නිසා අද මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා පැවති එන්නත් වැඩසටහනක් අවුල් සහගත තත්වයට පත්විය. කොරෝනා එන්නත් වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සංවිධානය වී ඇති ව්‍යාපෘතියක් වන අතර නගර සභා පරිපාලනයට අදාළ නොවන්නකි. එහි ස්ථාන සපයා ගැනීම වැනි සංවිධාන කටයුතු වලට සහය පිණිස පමණක් පරිපාලන යාන්ත්‍රණය හවුල් කරගනී.
 


රජයේ ‌සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පැමිණ එන්නත සාධාරණ ලෙස පැමිණි පිළිවෙලට පරීක්ෂාකර ජනතාවට ලබා දීමට සූදානම් වුවද නගරාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තමන් නිකුත් කළ තුණ්ඩුවලට එන්නත ලබා දිය යුතු බව ප්‍රකාශ කර සිටියේ මේ දක්වා කොරෝනා මර්දනය වෙනුවෙන් තමා විශාල වැඩකොටසක් කළ බවත් ඉතිරි ටිකත් ඒ ලෙසම කළ යුතු බවට වහසි බස් දොඩවමිනි. ඇතැම් පිරිස් පාන්දර 4 පමණ සිට එහි දිගු පෝලිම්වල රැදී සිටි මුත් නගරාධිපතිවරයාගේ තීරණය තමන්ගේ අයට පමණක් එන්නත ලබාදිය යුතු බවයි.

මොරටු නගරාධිපතිවරයාගේ තීරණය පිළිනොගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය දිගින් දිගටම ඔහු සමග වාද කර සාධාරණය ඉටුකරන්නට උත්සාහ කළ අතර අවසානයේ ඔහුට පසුබසින්නට සිදු විය.
කෙසේ වෙතත් නිලධාරිනිය එඩිතරව කථාකළත් දිගින් දිගටම කට ගසමින් වාදකළ නගරාධිපතිවරයාගේ තනතුරට බියේ පොලිස් ආරක්ෂකයින් මුණිවත රැක්ක අතර නගරාධිපතිවරයා ඉවත් කිරීමට කටයුතු කරනු දක්නට නොලැබිණි. නිලධාරිනිය තමන්ට රාජකාරියට බාධා කරන බවට සෞඛ්‍ය ඉහළ අංශ වලට දන්වා සිටීන්නටද සිදුවිය.

“ග්‍රාම නිලධාරීන් ඉන්නවා. පී.එච්.අයි. ඉන්නවා, දැන් ඩොක්ටර් ගහන්නේ නැත්නම් යන්න, මේක වෙන්නෙ නෑ එහෙනම්.“ නගරාධිපතිගේ එක් තර්ජනයකි.

‘මට ඔය වගේ කතා කරන්න එපා නගරාධීපතිතුමා, ඔබතුමා රාජ්‍ය නිලධාරියෙකුට කතා කරන විදිහ ඉගෙන ගන්න. අතනට යන්න ඕන නෑ මෙතන කියන්න, හොරෙන් කියන්න ඕන නෑ. මේකට ඉඩ දීලා ඔබතුමා යන්න.‘ නිලධාරිනිය කීවාය.



 ‘නෑ නෑ අපි ටෝකන් දීලා තියෙන අයට විතරයි ගහන්න ඕනේ.‘
‘ එහෙම කියන්න බැහැනේ මැතිතුමා මගේ රාජකාරියට බාධා කරන්න එපා.‘

ජනතාවද අසරණ කරමින් නගරාධිපති කටයුතු කලේ රූපවාහිනී කැමරාවලට වීරයෙකු ලෙස පෙනී සිටිමිනි.
මෙම අවස්ථාවේ නගරාධිපතිවරයාට විරෝධය පළකරන්නට රැස්ව සිටි අයගෙන් කිහිපදෙනෙකු පමණක් කතා කරනු දක්නට ලැබිණි.

පසුගිය කාලයේ ප්‍රමානාත්මකව ඉහළ අගයකින් මොරටුවේ කොරෝනා රෝගීන් හමුවූ අතර මොරටුව  ග්‍රාමසේවා වසම් කිහිපයක් හුදෙකලා කර තිබිණි.