sinovac-sri-lanka

මහනුවර පිහිටි කෙලූන් ලයිෆ් සයන්ස් (පුද්ගලික) සමාගම සමග එක්ව චීනයේ සිනොවැක්ස් බයෝන්ටෙක් සමාගම ගිවිසුම් ගතවී දැනට චීනයේ නිපදවන කොරෝනා එන්නතක් වන ‘සිනොවැක්ස්‘ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බව අද දින චන්න ජයසුමන රාජ්‍ය ඇමතිවරයා දන්වා සිටියේය.මීට අදාළ කැබිනට් අනුමැතියද පසුගිය සතියේ ලබාගන්නා ලදි.
මින් ඉහත වාර්තාවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ චීනයේ සිනොෆාම් නමැති එන්නත ලංකාවේ නිපදවන බවකි. නමුත් නිදපවන්නේ එවැනි අනුමැතියක් ලබා නැති ‘සිනොවැක්ස්‘එන්නතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අනුමැතියට එය ඉදිරිපත් කළ වකවානුවේ බ්‍රසීලයේ සිදු කරන ලද අත්හදාබැලීමේදී එහි සාර්ථක ප්‍රතිශතය සියයට 50 ක් පමණක් විය.


නමුත් අදාළ චීන සමාගම මෙම එන්නත ප්‍රවර්ධනය සදහා විශාල උනන්දුවකින් කටයුතු කරන අතර සාර්ථකත්වය අසාර්ථකත්වය නොසලකා බ්‍රසීලයේද දේශීය වශයෙන් නිපදවීමට ගිවිසුම් ගතවී ඇත.
මහනුවර කෙලූන් ලයිෆ් සයන්ස් ප්‍රයිවට් ලිම්ටඩ් ආයතනයේදී සිනොවැක්ස් එන්නත නිෂ්පාදනය කරනුයේ චීනයෙන් ගෙනෙනා ලොකු බෝතල් වල එන්නත‘කුප්පි වලට දැමීම‘ පමණක් බවටද පසුගිය දිනවල විවේචනයක් පැවතිණි.
කැබිනට් මණ්ඩල සාකච්ඡාවට මෙම එන්නත ගැන කරුනු දක්වා තිබුනේ මේ වනවිට රටවල් 25ක මාත්‍රා මිලියන 300කට අධික ප්‍රමාණයක් එන්නත් කර ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියට භාජනය කර තිබෙන සිනොවැක්ස් එන්නත ලංකාවේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බවකි.
සිනොවැක් බයෝටෙක් සමාගම එකඟවන්නේ නම්, එම සමාගමට දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා නැවත මිලදීගැනීමේ ගිවිසුමක ස්වරූපයෙන් රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන්නට යන බවත් ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව ඒවා තොග මිලට ගෙන ලංකාවේ එන්නත් කරණයට යොදාගනු ඇති බවත් පැවසේ.

(ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලද විදෙස් එන්නත් ගණනාවක් තිබියදී අනුමැතිය නොමැති එන්නතකට රජය වියදම් කිරීමට යොමු වීමකි)
එසේම කැබිනට් සංදේශයේ දක්වා තිබුනේ යම් අතිරික්තයක් තිබේ නම් එය අපනයනය කළ හැකි බවකි .ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ඇතුළුව අවශ්‍ය පරිදි අනුමැතීන් ලබාගැනීම සඳහාද, කෙලූන් ලයිෆ් සයන්ස් සමාගම සමග අවශ්‍ය කරන ගිවිසුම් සාකච්ඡා කර, එම ගිවිසුම් සකස් කර අත්සන් කිරීම සඳහාද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ.සභාපතිවරයාට බලය පැවරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මේ ගැන අද දින උදෑසන චීන සිනොෆාම් එන්නත් තොගය ලංකාවට ගොඩබට අවස්ථාවේ රාජ්‍ය ඇමති චන්න ජයසුමන පැහැදිලි කළේ මෙසේය.
" චීන තානාපතිතුමා විශේෂ වශයෙන් ප්‍රකාශ කළා චීනයේ මේ වනවිට නිෂ්පාදනය කරන අනෙකුත් ප්‍රධාන එන්නත තමයි සිනොවැක් එන්නත. එය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා චීන රජයේ පූර්ණ අනුග්‍රහය ලැබෙන බව. අපි මේ ගැන සාකච්ඡා කරලා මේ වනවිට එය සාර්ථක තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සිනොවැක් එන්නත අපේ රටේ සහ චීනයේ හවුල් නිෂ්පාදනයක් විදිහට ඉදිරි මාස 2ක පමණ කාලයේදී අපේ රට තුළ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා කුණ්ඩසාලේ පිහිටි කර්මාන්තශාලාවක මූලික කටයුතු සූදානම් කරගෙන යනවා."