tedros-sri-lanka

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන්ගේ වැඩිවීම ගැන අද පැවැත්වූ කථාවකදී සඳහන් කර තිබේ.


ජිනීවාහිදී මාධ්‍ය අමතමින් වෛද්‍ය  ටෙඩ්‍රොස්  පැවසුවේ ඉන්දියාවේ තත්වය ගැන සංවිධානය මගින් විශාල අවධානයක් යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ හදිසි අවශ්‍යතා ඇත්තේ ඉන්දියාවට පමණක් නොවන බවයි.
“නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල සංසිද්ධි සහ රෝහල්ගත කිරීම්වල ඉහළ යාමක් පෙන්වනවා. මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ එන්නත් ලබා දීමෙන් පමණයි ජීවිත බේරාගන්නට හැකියාව ඇත්තේ” ඔහු පැවසීය.
COVID-19 මගින් මේ වන විට මිලියන 3.3 කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්, වසංගතයේ දෙවන වසර පළමු වසරට වඩා මාරාන්තික විය හැකි බවත් ඔහු පැවසීය.


වෛද්‍ය ටෙඩ්‍රොස් කියා සිටියේ එන්නත් සැපයීම ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින නමුත් මේ සතියේ නායකයින් සහ නිෂ්පාදකයින් මෙම ගැටළු වලට විසඳුම් සෙවීමට කටයුතු කරන බවයි.
එන්නත් සමානාත්මතාවයෙන් යුතුව සිදු කිරීම සහතික කිරීමට මෙන්ම, එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තාක්‍ෂණික හුවමාරුව සහ ජාත්‍යන්තර නිෂ්පාදකයින් අතර දැනුම හුවමාරු කර ගැනීම සම්බන්ධ නව ගනුදෙනු ප්‍රකාශයට පත් කර  ඇති බවත් ඔහු කීය.