thulhiriya-mas-lanka-hospital

මාස් හෝලිඩින්ග් සමූහයට අයත් තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්.  ඔස්සේ හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව දැනදැන එම වාර්තා විනාශ කළ බව කියන නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.


සේවක සේවිකාවන් 4000 කගේ පීසීආර් වාර්තා ලබාගන්නට මෙම රෝහල කටයුතු කර තිබූ නමුත්
පරීක්ෂණ අක්‍රමවත්ව කර තිබූ බවටද චෝදනා එල්ලවී ඇත. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් තොරව ඒවා ලබාගත් බවටද චෝදනා පවතී. අනතුරුව ආසාදිතයන් සම්බන්ධයෙන් කොටසකට දුන් ප්‍රතිඵල වාර්තා පරස්පර වී තිබේ. ඇතැම් අය ධනාත්මක බවට හා ඇතැම් අය එසේ නෙවන බවට කීවත් වෙනත් පරීක්ෂණ වලින් ඒවා වැරදි බව තහවුරුව ඇත.
කොවිඩ් කමිටුවට ලැබුණ උපදෙස් මත වාර්තා පිළිබඳ සොයා බැලීමක් කර තිබේ.
 පසුගිය බදාදා (19) සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ වාර්තා ලංකා හොස්පිට්ල් වෙතින් ඉල්ලා ඇති අතර එම රෝහල පවසා ඇත්තේ ඒවා විනාශකර දැමූ බවයි.
පසුව ජනාධිපතිවරයාට මේ බව සැලවී ඇති අතර දිනක් ඇතුළත අදාළ වාර්තා විනාශ කිරීම සැක සහිත වීම හේතුවෙන් වහාම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ.
මේ හේතුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳ වාර්තාවක් මේ වනවිට කැඳවා ඇත.
දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1200ක් පමණ කිරීමට අවසර දී තිබියදී සතියේ දින දෙකකට එම රෝහලින් පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් කර තිබීමද ගැටලුකාරී වන අතර ඒවා වැරදි ප්‍රතිඵල නිරූපණය කරන්නක් වීම නිසා විනාශ කරන්නට ඇතැයි සැක මතුව තිබේ.


තුල්හිරිය ඇඟළුම් කර්මාන්ත ශාලාවේ  සේවක සේවිකාවන් 2000 කගේ ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ 400 දෙනෙකුට එකවර කොරෝනා වැළඳී
තිබීම නිසා මේ වනවිට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ඉතිරි 2000 ට සිදුවූ දේ තවම අපැහැදිලිය. මෙහි ආපන ශාලා සේවකයෙකු කොරෝනාවෙන් මියයාම නිසා සැකයට පීසීආර් පරීක්ෂණ ආරම්භ කරන ලදි.
කර්මාන්ත ශාලාව වසා දැමීමට සෞඛ්‍ය සේවා අංශ මේ වනවිට කටයුතු කර ඇත.
මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති සිල්වා මහතාට නියෝග කර ඇත.