vehicle-out-decision

අද(25) දිනත් එළැඹෙන 31 හා ජුනි 04 වන දිනත් සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවල වෙළෙඳසල් වලට ගමන් කිරීමේ අලුත් නීතියක් නිසා ඊයේ සමාජ මාධ්‍ය ඇවිළිණි.  ඇතැමුන් කියා සිටියේ ගෙදරින් එක් අයෙකු පයින් ගමන් කොට එළියට ගොස්  නිවසට අවශ්‍ය සියලු බඩු රැගෙන ඒම දුෂ්කර කාරියක් බවය. විල්බැරෝවක් රැගෙන යායුතු බවට, උදව්වට තවත් කුලී සහායකයින් රැගෙන යායුතු බවටද විවේචන පළ විය.
කෙසේ වෙතත් දින 14 ක් ලොක්ඩුවන් කිරීම ඇඟෙන් ඇටයක් ගන්නවා තරම් දුෂ්කර තීරණයක්වී තිබුණ රජය මේ අවස්ථාවේ ඊට එකඟවී නම්‍යශීලීවීමට සාපේක්ෂව මෙම බඩු රැස්කිරීමේ දුෂ්කරතාව ගැටලුවක් කරගන්නට තරම් දෙයක් නොවන බවටද පරස්පර අදහස් මතුවිය.


මීට කලකට ඉහත ජනපති වාසය කරන නිවස පිහිටි ප්‍රදේශයේ ඇඹුල්දෙණියේ වඩේ විකුණන පුද්ගලයින්ට වෙනදා ලැබෙන ආදායම නැතිවන බව දක්වමින් ජනපති කතාවක් කළ අතර ඒ දිනවල දැඩිව පැවති සංචරණ සීමා ලිහිල් කළේ එම අත්දැකීම මුල් කරගෙනය.
ඊට පසු දිනෙක ඒ ආසන්න පිහිටි මිරිහාන පොලිසිය වෙත. දිගු වාහන පෝලීම් තිබෙනු දුටු ජනපති ඒ කවරක් නිසාදැයි සොයා බැලූ අතර ඒ ඇඳිරි නීති අවසරපත් ලබාගන්නට යයි දැනගන්නට ලැබී පසුදාම එම නීති වෙනස් කරන්නට කටයුතු යොදන ලදි.
මෙවර ආන්දෝලනයට තුඩුදුන් වාහන එළියට දැමීම තහනම් කිරීමේ නියෝගය පසුපසද ජනපති ලද පුද්ගලික අත්දැකීමක් තිබේ.
එය ඊයේ ජනපති සහභාගීවූ කෝවිඩ් විශේෂඥ කමිටු රැස්වීමේ දී හෙළිකර තිබූ අතර එම රැස්වීම නිමවීමෙන් පසු ඇමති ජොන්ස්ටන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජනපතිගේ විශේෂ ඉල්ලීම පරිදි වාහන එලියට ගෙනවිත් භාණ්ඩ රැස්කිරීම නතර කරන බවද දැන්වීය.
මෙවර ජනපතිගේ අත්දැකීම ජනපතිගේ වචන වලින් ඊයේ මෙසේ කියා තිබුණි.



‘දැන් අද වුණත් මං එනකොට... වාහන විශාල ප්‍රමාණයක් වැඩියි... මේ කියන්නෙ ජනතාව මේ වගකීම භාරගන් නෑනෙ.. දැන් සමහර අය මං හුඟාක් බලන් ආවා ඩොක්ටර්ස්ලා කියල ගහගෙන යනවා.. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරෙ ඉන්න විදිහක් නෑනේ.. බලන්න ඕන මොකක්ද ඩොක්ටර්ගෙ නම කොහෙද වැඩ කරන්නෙ කියල.. මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා. වැහුවට වැඩක් නැහැ ජනතාව මේක තේරුම් ගන් නැතුව මේ විදිහට කරන් නැත්නම්.. අද වහල තියන දවසක්නෙ.. නීති දාලා කරන්නෙ නැත්නම් බෑනෙ.. වගකීම භාරගන්න එපැයි.'