vijitha-herath-speaks

පෝට් සිටිය පාර්ලිමේන්තුවේ සම්මත වෙනකොටම ඊට සමාන්තරව කොළඹ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා. මේ පාර කපන්නේ මේ රටේ දුප්පත් ජනතාවටද? මේ බරපතල අපාරධයක්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරයි.
ඔහු මෙසේ කීය.

“රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තියෙද්දී වරාය නගර කොමිෂන් සභා පනත පුදුම හදිසියකින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ හදිසිය කොරෝනා එන්නත ගන්න තිබුණා නම් අපේ රට මේ ව්‍යසනයට පත්වෙන්නේ නැහැ. මේ සියල්ල සිද්ධ වෙන අතරෙ මැයි මාසේ 05වැනිදා කැබිනට් මණ්ඩලයට සුපුරුදු පරිදි රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයෝජන සහ ක්‍රමෝපාය සංවර්ධන කියන කැබිනට් පත්‍රිකාව දැම්මා. මේකේ හරය තියෙන්නේ සෙලෙන්දිවා කියන ආයතනය මහ භාණ්ඩාගාර 100%ක් කොටස් අයිතිය සතුව හදන බව. ඊට පස්සේ සෙලෙන්දිවා සමාගමට අනුබද්ධ තවත් සමාගමක් හදනවා.

ස්පෙෂල් පර්පස් වෙහිකල් කියලා අලුතින් හදන සමාගමේ කොටස් 49%ක් සෙලෙන්දිවා සමාගමේ අයිතියට පත් කරනවා. මේ කොම්පැණිය හරහා රටේ සම්පත් විකිණිල්ල සම්පූර්ණයෙන් සිදුකරනවා. කැබිනට් පත්‍රිකාවේ 2.4 වගන්තියේ ඒ ගැන සම්පූර්ණයෙන් සඳහන් වෙනවා. “එකී පරිපාලන සමාගමේ වත්කමක කොටස්වලින් 49%ක් දක්වා මූලිකව නිදහස් කරනු ඇති අතර එහිදී පාලනය සහ පාලන බලය රඳවා ගනු පිණිස නිදහස් කළ වත්කමේ රන්මුවා කොටස් ප්‍රමාණයක් සෙලෙන්දිවා ආයතනය විසින් දරනු ලැබේ.” ඒවගේම 6 වැනි වගන්තියේ “දිගු කාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පමණක් පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීමේ විකල්ප ක්‍රමය අනුගමනය කිරීමටද සෙලෙන්දිවා ආයතනය බලාපොරොත්තු වේ” ඒ වගේම 7 වැනි වගන්තියේ “වඩාත් සුදුසු ප්‍රාග්ධන ව්‍යූහය සාක්‍ෂාත් කිරගැනීම සඳහා ණය හෝ ව්‍යාපාරික වස්තු පොදුවේ අලෙවි කිරීම යන දෙක අතුරින් සුදුසු අංගය අනුගමනය කර අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට නියමිතය.”

ඒ වගේම “නව අනුබද්ධ සමාගමේ කොටස් නිකුත් කිරීම හෝ මුලින් ගෙවීම් කිරීමට සෙලෙන්දිවා ආයතනය විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග අන්‍යොන්‍ය වශයෙන් එකඟත්වයකට පත්විය හැකිය.” කියනවා. අපේ රටේ වානිජ වශයෙන් ඉතාම වටිනා ඉඩම් අක්කර 1.7ක භූමි ප්‍රමාණයක් තියෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, අක්කර 0.75ක භූමි ප්‍රමාණයක් පිහිටි ගපූර් ගොඩනැගිල්ල, අක්කර 1.5ක පිහිටි විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, අක්කර 0.18ක පිහිටි මහ තැපැල් කාර්යාලය, අක්කර 1.37 පිහිටි සීනෝර් රෙස්ටුරටන් දේපළ, අක්කර 05ක වෝටස් ඒජ් මිශ්‍ර සංවර්ධනය කියන අක්කර 11 විකුණන්න සූදානම් වෙනවා. ඒ වගේම කංකසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන භූමිය විකුණන්න දාලා තියෙන්නේ. එස්.පී.වී. කියන සමාගම හදන්නේ මේ විකිණීමේ ක්‍රියාවලියට. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සියලු බදු සහන ලබාදෙන බව සඳහන් වෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නේ එහෙම. ඒ හා සමානම තත්වයක් මේකෙන් එනවා. වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධයෙන් වෙනම කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. ඒත් මැයි 05වනිදා කොරෝනා අස්සේම ගෙනා තවත් පත්‍රිකාවක්. මිනිස්සු මාරාන්තික බියකින් ජීවත් වෙන අතරේ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකා දානවා. වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 42ක භූමි ප්‍රමාණයක් විකුණලා හම්බ වෙන සල්ලිවලින් කළුතර බන්ධනාගාරයක් හදන්න යනවා. බිලියන 30.6ක මුදලක් ගන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලිව සඳහන් වෙනවා. අවුරුදු 99, අවුරුදු 198ක්, වගේ කාලවලට කොළඹ නගරයේ වටිනා ඉඩම් පුද්ගලික කොම්පැණිකාරයන්ට දෙනවා. ආණ්ඩුව බලයට එන්න කලින් කීවේ එක්සත් ජාතික පක්‍ෂයෙන් විකුණන ඒවත් ආපහු ගන්නවා කියලා. හැබැයි ආපු ගමන් ෂැංග්‍රිලා හෝටලයේ පිටුපස්සේ ඉඩම සිංගප්පූරු සමාගමකට වික්කා.


කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැහැ. නමුත් කාබනික පොහොර ගොවියාට ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතිව තමයි රසායනික පොහොර ආනයනය නවත්වන්න ඕනෑ. නමුත් එහෙම වැඩපිළිවෙළක් නැහැ. අද තේ වගාවත් ලොකු අර්බුදයකට පත්වෙලා. මාලදිවයින වගේ රටවලට එළවලු අපනයන කළ අයගේ නිෂ්පාදන බිඳ වැටීම නිසා ඒ වෙළඳපොළත් අපිට අහිමි වෙලා ඉන්දියාව ආක්‍රමණය කරලා තියෙනවා. රජය පිළිගත් කිසිදු ආයතනයක් කාබනික පොහොර පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැහැ. ගොවියා අවශ්‍ය කාබනික පොහොර ගන්නේ කොහෙන්ද? ජනාධිපතිවරයා කියනවා, අපේ රටේ නැත්නම් ආනයනය කරන්න කියලා. සාමාජිකයන් 46දෙනෙකුගෙන් යුක්ත කාබනික පොහොර කාර්ය සාධන බලකායක් පිහිටුවලා තියෙනවා. විවිධ ක්‍ෂේත්‍රවල ආචාර්ය මහාචාර්යවරු, විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තිකයන් පවා ඉන්නවා. ව්‍යාපාරවලට සම්බන්ධ අයත් ඉන්නවා. ඒ අයට අතර දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මැතිතුමාත් ඉන්නවා. පිටරටින් කාබනික පොහොර ආනයනය කරන්න යන්නේ කොහෙන්ද? චීනයෙන්.

චීනයේ නාගරික කසළ ගේන්න සූදානම් වෙනවා. ඒවා කාබනික පොහොර නෙවෙයි. බැහැර කරන නාගරික කසළවලට යූරියා ස්ප්‍රේ කරලා කාබනික පොහොර හැටියට ලෝකයේ බොහෝ රටවලට යවනවා. කාබනික පොහොර ලබාදෙනවා කියන දේට මුවා වෙලා කොරෝනා අස්සේ තවත් හොර ජාවාරමක් පටන් ගන්න යනවා. අපේ පරිසරයට, පසට, උචිත නැති කාබනික පොහොර කියලා වෙනත් රටකින් බැහැර කරන නාගරික කසළවලට යූරියා ඉහලා ගේන දේවල් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒ අපරාධය මේ රටේ ගොවි ජනතාවට කරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරනවා. රසායනික පොහොරවලින් වන විනාශයට නොදෙවැනි විනාශයක් මේ තුළින් සිද්ධ වෙනවා.

තමන්ගේ චෞර වළල්ලේ කට්ටිය දාලා අලුත් බිස්නස් එකක් හදල දෙන්න මාෆියාවකුත් කොරෝනා අස්සේ ක්‍රියාත්මක වෙනවා. කඩිමුඩියේ ඒවාට තීන්දු තීරණ ගන්නවා. කාබනික පොහොර ලංකාව තුළ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් හදන්න. අපේ රටේ ඒ සඳහා මැදිහත්වීමක් ජපානයේ කාබනික පොහොර භාවිතාව ආශ්‍රයෙන් සිදුකර තිබෙනවා. පොහොර ප්‍රශ්නය දඩමීමා කරගෙන තවත් මාෆියාවකට පාර කපන්න එපා කියලා අපි අවධාරණය කරනවා. පරිසරයට සිදුකර තිබෙන හානිය හොඳටම ඇති.