කිසියම් අයකු වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවළට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදුකළ පී.සී.ආර් පරික්ෂණවල දී තහවුරු වී ඇතැයි වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරික්ෂක සරත් මල්ලවආරච්චි මහතා ඊයේ (18) පැවසීය.
ඉතා අසරණ තත්වයේ සිටි මෙම වයෝවෘද්ධ යුවළ සමාජ සේවා දෙපාර්තමේන්තුවට බාරදීම සඳහා යොමු කිරීමට සූදානම් වෙද්දී ඊට පෙර ඔවුන් රෝහල්ගත කිරීමට පී.සී.ආර් පරික්ෂණයක් කළ යුතු බවට වැල්ලම්පිටිය පොලීසියෙන් කළ දැනුම්දීමක් මත ඔවුන් දෙදෙනාට පී.සී.ආර් පරික්ෂණයක් සිදුකළ බවත්, එහි ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බවත් ඔහු සඳහන් කළේය. මෙම යුවළ රාත්‍රී කාලයේ දී මෙහි ගෙනැවිත් දමා ඇති බවත්, කතා කරගැනීමට ද නොහැකි තරම් ඔවුන් දුර්වල බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේය.
මෙම දෙදෙනාට අවට ජනතාව විසින් ආහාර පාන පවා ලබා දී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද සොයා බලා නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් සරත් මල්ලවආරච්චි මහතා කීවේය. කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති මෙම දෙදෙනා රෝහලකට යොමු කිරීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරින් කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී පැවසුවේ මෙම වයෝවෘද්ධ යුවළ මෙහි ගෙනැවිත් දැමුවේ කවුරුන්ද යන්න සොයා පරික්ෂණ සිදු කෙරෙන බවයි. අවට සී.සී.ටී.වී කැමරා පරික්ෂා කරමින් තොරතුරු සෙවීම සිදුකරන බවත්, මෙම වයෝවෘද්ධ යුවළ කතා කරගැනීමට ද නොහැකි තරම් දුර්වල නිසා ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, එම නිලධාරියා පැවසීය.
-ඉන්දිකා රාමනායක සහ ඩයනි උදයංගනී
0 Comments