එකම පවුලේ පියෙකු හා දියණියක අවාසනාවන්ත ලෙස කොරෝනා මාරයාට බිලිවූ පුවතක් ගාල්ල තල්ගස්වල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මුලින් මියගිය විතානාච්චි මහතා 76 හැවිරිදි වියේ පසුවූවෙකු වන අතර ඔහුට කොරෝනා ආසාදනය වූ බව හදුනාගෙන ඇත්තේ සති කිහිපයකට පෙරදීය. මුලින් කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලට ඔහු ඇතුළත් කරන ලදි. එහිදී අසාධ්‍යවූ නිසා අනතුරුව ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු කරන ලද නමුත් අසනීප තත්වය උත්සන්න වීමෙන් පසුගිය මැයි 09 වන දින මියගියේය.
මරණයට හේතුව ලෙස කොවිඩ් නිව්මෝනියාව සටහන් තබා තිබුණි.
මොහුට සිටි එකම දුව 27 හැවිරිදි යෂෝධා පියාගේ අසනීප තත්වය හමුවේ කැපවී උවටැන් කළ අතර පියා මියයන අවස්ථාව දක්වා ඇයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බව කියැවේ. නමුත් ඇය හදිසියේ හුස්ම ගැනීමේ අපහසුතාවෙන් රෝහලට ඇතුළත් වන්නේ පියාගේ මරණයට පසු සතියේය.
වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන ඇය එහිදී වැඩිදුර ප්‍රතිකාර ලබාගත්තත් රෝගය දරුනු ලෙස ඇයට බලපා තිබෙන අතර ඇය මියයන්නේ මැයි 17 වනදාය. ඒ හරියටම පියාගේ මරණින් දින 08 කට පසුය. ඇයගේ මරණයටද හේතුව ලෙස කොවිඩ් නිව්මෝනියා තත්වය සටහන් කර ඇත.
කිසිදු රෝග තත්වයක් නොමැතිව කල්ගත කළ තරුණිය ඉතා අඩු වයසින් මෙලෙස මියයාම සැමගේ කම්පනයට හේතුවිය.
මියගිය යෂෝධා විතානාච්චි එම පවුලට සිටි එකම දරුවා විය. ඇය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවියක වූ අතර එම පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කර තිබූ තැනැත්තියකි. පුද්ගලික සරසවියකින් උපාධියද ලබා තිබුණි.
0 Comments