සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරගතව සිට නිදහස්ව නිවෙසට පැමිණ දින තුනකට පසුව ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් සෙල්ලකතරගම
ප්‍රදේශයේ නිවාස 100 ක පමණ පිරිස නිරෝධායනයට ලක්කළ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සංස්කාරක සමන් දිසානායක මහතා පැවැසීය.රක්ෂිත බන්ධනාගාරගතව සිටි එම පුද්ගලයා ඉකුත් 23 වැනිදින නිදහස ලබා සිය නිවෙසට පැමිණ ඇති අතර බන්ධනාගාරයේ සිටියදී ඔහු පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කර ඇතත් එහි වාර්තාව ලැබී ඇත්තේ දින තුනකට පසුව ඉකුත් 26 වැනිදින බවත් සමන් දිසානායක මහතා කීය. නිදහස ලබා නිවසට පැමිණි එම පුද්ගලයා නෑ හිතමිතුරන් හමුවී ඔවුන් සිප වැළඳ ප්‍රීති වී ඇති අතර ඔවුන් සමග සාද පවත්වා තිබෙන බවට තොරතුරු ලැබුණු බවද කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීව්වේය.
මීට අමතරව එම පුද්ගලයා දින තුනක් තිස්සේ ගමේ හිතවතුන් හමුවී ඇති අතර අවමගුලකට සහ පිංකම් උත්සවයකටද සහභාගිවී ඇතැයි ඔහු කීය. මෙම පුද්ගලයාට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට ඉකුත් 26 වැනිදින අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් සෞඛ්‍ය අංශවලට දැනුම් දෙනවිටත් විශාල ව්‍යාසනයක් සිදුවී තිබෙන බවද සමන් දිසානායක මහතා පැවැසීය. මෙම පුද්ගලයාගේ හැසිරීම සහ බන්ධනාගාර නිලධාරින් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා ඉදිරි දින කිහිපයතුළ සෙල්ලකතරගම පුරා කොරෝනා පොකුරක් නිර්මාණයවීමේ දැඩි අවදානමක් හටගෙන තිබෙන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
බන්ධනාගාරගතව සිට නිදහස් කිරීමේදී පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳවියා නතරකර ගැනීම හෝ ඒ පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීම හෝ සිදුකළේ නම් මෙම ව්‍යාසනය නතරකරගත හැකිව තිබූ බවද සමන් දිසානායක මහතා පැවැසීය.මේ පිළිබඳව අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ අධිකාරි පල්ලේවත්ත මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ රැඳවියකු නිදහස්කරනවිට දින 14 ක් නිවසේ නිරෝධායනය වන ලෙස අනිවාර්ය කරමින් ඔහුට ලිපියක් ලබාදෙන බවය. මීට අමතරව ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට හා දිස්ත්‍රික් වසංගත රෝග ඒකකයට දැනුම් දෙන බවද බන්ධනාගාර අධිකාරීවරයා කීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බවද හෙතෙම පැවැසීය.
(කතරගම - එම්.කේ. නන්දසේන)
0 Comments