දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් අක්කර දාසයක  ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනාට එරෙහිව නඩුව ලබනට ඔක්තෝම්බර් මස 14 සහ නොවැම්බර් මසෙ  01 වැනිදාට  විභාගයට ගැනීමට එම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඊයේ (23) තීන්දු කළේ.  එම නඩුව ඊයේ (28) කැඳවුණු අවස්ථාවේ නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිරෝධායනය සඳහා යොමු වී ඇති අතර තිරුකුමාරන් නඩේෂන් මහතා අසනීප තත්වයේ  පසුවන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණය හමුවේ සඳහන් කළේය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හාම තිරුකුමාරන් නඩේෂන් යන දෙදෙනා ඊළඟ නඩු දිනයේදී මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නීතිඥ කණ්ඩායම මහාධිකරණය හමුවේ පොරොන්දු වූ අතර එම නඩුවේ සාක්ෂිකරුවකු වන චමුදිත ජයකොඩි නමැත්තාට ඔක්තෝබර් මස 14 වැනි දිනට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද එහිදී නොතීසි නිකුත් කෙරිණ.

විජේසිරි අඹගහවත්ත, ප්‍රේමචන්ද්‍ර ඈපා, තිස්ස ගුණවර්ධන, උදාර විජේසිංහ යන නීතිඥ කණ්ඩායම සමග ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී. වීරත්න මහතා බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර රජයේ නීතිඥ ඔල් පෙරේරා මහතා සමග රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සනිල් කුලරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.


-ටෝනි කරුණානායක-