රජය විසින් දෙනු ලබන රුපියල් 5000දීමනාව නොලැබුණු, කැම්පනේ ප්‍රදේශයේ කාන්තාවකගේ පොලු පහර කා සමෘද්ධි සංවර්ධන නිලධාරියකු කොළොන්න මූලික රෝහලට ඊයේ (07) දහවල් ඇතුළත් කළ බව පනාමුර පොලිසිය සඳහන් කරයි.   මෙසේ රෝහල් ගතකර ඇත්තේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැම්පන්නේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි සුභාෂ් ප්‍රසන්න කඹුරුගමුව නමැති අයෙකි.

පහරදීම කළ බව කියන  කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඊයේ ඇයගේ නිවසට ගිය බව ද පනාමුර පොලිසිය කියයි. කැම්පන්නේ පුස්වැල්පිටිය විහාරස්ථානයේදී රුපියල් පන්දහසේ දීමනාව බෙදා දී ආපසු එන අවස්ථාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරියාට කාන්තාවගේ පොලු පහර එල්ල වී ඇති බව ද පොලිසිය කියයි.


සැකකාර කාන්තාව පුස්වැල්පිටිය  විහාරස්ථානයට ගොස් රුපියල් පන්දාහේ දීමනාව තමන්ට ඇත්දැයි විමසා ඇත. සමෘද්ධි සංවර්ධන නිලධාරියා ලේඛන පරික්ෂා කර බලා පවසා ඇත්තේ  ඇගේ නම පන්දහසේ මුදල් දීමනා ලේඛනයේ නැති  බවයි. එවිට ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරියාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.  සමෘද්ධි සංවර්ධන නිලධාරියා සිය යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී සැකකාර කාන්තාවගේ නිවස අසලදී ඇය මෙම පොලු පහර එල්ල කර ඇති බව පොලිසිය කියයි. සැකකාර කාන්තාව ඔහු යතුරුපැදියේ සිටියදීම මෙම පොලු පහර එල්ලකර ඇති අතර, තුවාලකරුවන් කොලොන්න මූලික රෝහලට ඇතුළත් කර ඇත.


 - ජයන්ත නායක්කාර-