Cardinal-thera-speaks

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බවට හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීමක් නව නීතිපතිවරයාට ද ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (2) පැවැසූහ.ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරු නොසලකා හැරි අය සම්බන්ධයෙන් සොයනමුත් එයට සම්බන්ධ අය ගැනත් සෙවීමක් නොවන බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ, රටින් පැන ගිය බව කියන සාරා සම්බන්ධයෙන් මෙන්ම මේ පිටුපස තිබෙන බව කියන දේශපාලන හස්ත ගැනත් සෙවිය යුතු යැයි ද සඳහන් කළහ.
එක්ස්පස් පර්ල් නෞකාවෙන් ධීවරයන්ට සිදු වූ හානිය සම්බන්ධයෙන් නීතිය හමුවට යා යුතු බව කී අගරදගුරුතුමෝ තමා එයට නායකත්වය ලබාදෙන බව ද කීහ. කාදිනල්තුමන් මේ බව පැවැසුවේ බොරැල්ලේ අගරදගුරු නිල නිවසේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදීය. කාදිනල්තුමෝ එහිදී මෙසේ ද පැවැසූහ. “රටේ සම්පත් ආරක්ෂා කරගැනීම දේශපාලකයන්ගේ වගකීමක්. දියුණුව යනු සම්පත් විකුණා දැමීම නොවෙයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉහළම විරෝධය දැක්වූ කණ්ඩායම දැන් බලයට පැමිණ ඊටත් වඩා දරුණු විනාශයක් කරමින් ඉන්නවා. දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට දැන් තිබෙන්නේ ටිකෙන් ටික රට බිලිගන්නා දූෂිත ක්‍රමයක්. වර්තමානයේ  රටේ පවතින තත්ත්වය ගැන අපි කනගාටු වෙනවා.පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව හිටපු නීතිපතිවරයා පැවැසුවා.



ඒ කුමක්දැයි අප දැනගත යුතුයි. ඒ ගැන සොයා බැලීමේ වගකීම නව නීතිපතිවරයාට තිබෙනවා. මට මෙම ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන අධ්‍යයනයට පත් කළ අමාත්‍ය කමිටුව කටයුතු කළේ "එක රටක් එක නීතියක්" සංකල්පය අනුව නොව “අපිට එක නීතියක් ඔබලාට එක නීතියක් වැනිය ආකාරයකටයි. හිටපු ජනාධිපතිවරයාට හා තවත් නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව වාර්තාවේ තිබුණත් ඔවුන් ආරක්ෂක්ෂා කෙරෙන බව පේනවා. ආණ්ඩුව විවිධ අය අත්අඩංගුවට ගෙන නිදහස් කරමින් මාධ්‍ය සංදර්ශන කරනවා. ආණ්ඩුව 20 වැනි සංශෝධනයේදී මුස්ලිම් ඡන්ද ගැනීමට කළ විජ්ජාව, ඩීල් අපි දැක්කා. අපි පාලකයන් පත්කරන්නේ මේකට ද?

ආණ්ඩුවෙන් සාධාරණ විසඳුමක් නොලැබුණොත් ජාත්‍යන්තරයේ පිහිට පතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර කතෝලික සංගම් හමුවට යන්න අපට සිදුවේවි. එස්පස් පර්ල් නෞකාවෙන් ධීවර ජනතාවට මෙම රටටම විපතක් වී තිබියදීත් වරාය බාර ඇමැතිවරයා හෝ නිලධාරින් හරි පිළිතුරක් දෙන්නේ නැහැ. ගින්න ආරම්භ වූ අවස්ථාවේම මෙ‍ය ගැඹුරු මුහුදට ඇදගෙන යන්න තිබු බව කියනවා. වෙරළත් මත්ස්‍ය සම්පතත් විනාශ වූ පසු දැන් සුදු ලූනු පොඩි කිරීමෙන් පලක් නැහැ. මේ හානියට එරෙහිව ධීවර සංවිධාන එකතු වී නෞකාව හිමි සමාගමට නඩු පැවැරිය යුතුයි. මම එයට නායකත්වය දෙනවා.මෙහෙම ගියොත් රට විනාශ වෙනවා. ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගහන වාදයකට ඉඩ දෙන්න බැහැ.




රජය ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් ගැන නොව ජනතාව ගැන සිතා තීරණ ගත යුතුයි. අපට අවශ්‍ය සුරපුරයක් නොවෙයි. ජනතාවට කන්න ටිකක් සහ මාසික ආදායමක් ලැබෙන ආර්ථිකයක් තිබුණොත් ඇති. දැන් කොවිඩ් එන්නත් ගත් මුදල් නැති තත්වයක් ඇතිවෙලා. මෙය සොබාදහම උරණ වී සිදු වූ දේව සාපයක් දැයි සිතෙනවා. යහපාලනය, සෞභාග්‍යයේ දැක්ම, මොන නමින් බලයට ආ රජයන් කළේ පාවාදීම පමණයි. ආණ්ඩුවේ ගමන හරි මාවතකට ගේන ආගමික නායකයන් ද පෙරට ආ යුතුයි." සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ.කොළඹ අගදරගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ග කැමිලස් ප්‍රනාන්දු, ආචාර්ය සිසිල් ජෝයි පෙරේරා, කතෝලික සභාවේ මීගමුව, පමුණුගම කලාපීය අනුනායක ශාන්ත සාගර හෙට්ටිආරච්චි යන පියතුමන්ලා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 (ඩයනා උදයංගනී)