දකුණු පළාතේ අහංගම තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලා හා බාහිරින් පැමිණි තරුණයින් කණ්ඩායමක් අතර ඇතිවූ ගැටුම්කාරී සිදුවීමක් ගැන අහංගම පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
 
ඊයේ (28 වැනිදා) මෙම භාවනා මධ්‍යස්ථානයේ  ඇතිවූ ගැටුම්කාරී සිදුවීමක් නිසා තම වාහනයට අලාබහානි සිදුවූ බවත් ස්වාමින් වහන්සේලා එම අකටයුත්ත සිදු කළ බවත් තරුණයෙකු පැමිණිලි කර තිබේ.
වාර්තාවන ආකාරයට මෙයට මුල්ව ඇත්තේ පවුල් ප්‍රශ්නයකි.



අහංගම තිත්තගල්ල  මෙත් බෝ සෙවන භාවනා අසපුවට පසුගිය 16 වැනිදා කොළඹ සිට විවාහක යුවළක් පැමිණ ඇත්තේ ටික දිනක් එහි භාවනානුයෝගීව වාසය කරන්නට යයි පවසමිනි. එහි එවැනි කටයුතු සඳහා ඉඩපහසුකම් සලසන අතර අලුතින් ඉදිකළ නවාතැන් කුටි පවා එහි තිබේ. වැඩි වශයෙන් විදේශිකයින්ද මෙහි නවාතැන් ගෙන භාවනානුයෝගීව සිටීම කලෙක සිට සිදුවේ.
ගල්බොරැල්ල කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මෙම යුවළට පැවිදිවීමේ අදහසක්ද පවතින බව ස්වාමින් වහ්නසේලාට දන්වා තිබූ අතර ඔවුන්ට භාවනා මධ්‍යස්ථානයේ ටික දවසක් බවුන් වඩමින් සිටින්නට අවසර ලැබී තිබේ.
කෙසේ වෙතත් එහි ටික දිනක් සිටියදී සැමියාට එම කටයුත්ත දිගටම සිදු කරන්නට පැවති උවමනාව නැතිව ගොස් ඇති අතර ඔහු බිරියට දන්වා ඇත්තේ එතැනින් නික්ම යමු කියාය. නමුත් බිරිය භාවනාවට පුරුදුවී ඊට දැඩි කැමැත්තක් දැක්වූ නිසා සැමියාගේ යෝජනාවට එකඟවී නැත.

තමාට යන්නම ඕනෑ බවට සැමියා ඇවිටිලි කර ඇති අතර පසුගිය 25 දින බිරිඳ භාවනා අසපුවේ සිටියදී සැමියා පමණක් නැවත නිවස බලා පිටත් වී ඇත.
බිරියව පසුව කැඳවාගෙන ඒමේ චේතනාවෙන් ඔහු පිටත්ව ගොස් තිබූ අතර අනතුරුව නැවත ඔහුගේ සහෝදරයකු සමග කාර් රථයකින් ඊයේ (28 ) එහි පැමිණ තිබේ.

නමුත් ඒ වනවිට භාවනා මධ්‍යස්ථානයට හිතගොස් තිබූ බිරිය සැමියාව යළි ප්‍රතික්ෂේප කර ඇත.
එම අවස්ථාවේ බිරිය බලහත්කාරයෙන් ඇදගෙන යන්නට ඔහු ක්‍රියා කර තිබෙන අතර මෙත් බෝ සෙවණේ ස්වාමින් වහන්සේලාටද මෙම ආරවුලට මැදිහත්වන්නට සිදුව තිබේ.


බිරිඳ නැවත අකමැත්තෙන් නිවස බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී එසේ කරන්නට එපා යයි කියූ මෙත් බෝ සෙවන භාවනා අසපුවේ ප්‍රධාන හිමි ඇතුළු පිරිසට සැමියා සහෝදරයා සමග තර්ජනය කර ඇති අතර තම බිරිය රවටාගෙන ඇතැයි අපහාසාත්මක ලෙස පවසා ඇති බවද වාර්තාවේ.

දෙපිරිස අතර එම අවස්ථාවේ ගැටුමක් ඇතිවූ අතර මෙම පුද්ගලයන් දෙදෙනාට පහරදීමක්ද සිදුව ඇත. ඔවුන් පැමිණි කාර් රථයටද පහර දී අලාභහානි සිදුකර ඇත.
මේ සම්බන්ධව අහංගම පොලිස් ස්ථානයට ගිය සැමියා හා සහෝදරයා සිදු කළ පැමිණිල්ල අනුව පොලිසිය සියලු පාර්ශ්ව කැඳවා ගැටලුව විමසා තිබෙන අතර කාන්තාව පවසා ඇත්තේ තමාට මේ සම්බන්ධව සිතා බැලීමට තවත් සති දෙකක් හෝ තුනක කාලයක් අවශ්‍ය බවත් එතෙක් අසපුවේ සිට භාවනානුයෝගීව සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසත්ය.

ඒ අනුව ගැටලුව සමථයට පත් වී ඇති අතර පැමිණිලිකරු පිටත්ව ගොස් තිබේ.