alawathugoda-incident

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේ ඇළ. මුදුනකඩේ ප්‍රදේශයේ නිවෙසක්  සංචරණ සීමා පවතින කාලය තුළ බිද රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කර විකුණු සැකකරුවෙක් අලවතුගොඩ පොලිසිය මගින් පෙරේදා (30 වැනි) අත්අඩංගුවට ගනු ලැබීය. අලවතුගොඩ රඹුකේඇළ මුදුනකඩේ ප්‍රදේශයේ පිහිටි සිය මහ ගෙදරට පැමිණ සංචරණ සීමා සමයේ රැඳී සිට ඇති මෙම සැකකරු සිය නිවෙසට යාබදව පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවෙසක් බිඳ එහි තිබූ රන් භාණ්ඩ මෙලෙස වාර දෙකකදී සොරකම් කර ඇතැයි පොලිසිය කියයි. රාමසාන් උත්සව සමයේ සංචරණ සීමා පනවා තිබූ කාලයේදී මෙම සැකකරු පළමු වර නිවෙසේ පසුපස දොර කඩා ඇතුළුවී නිවස තුළ තිබූ පවුම් හයක් පමණ බර රන් භාණ්ඩ සොරකම් කර එය සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව අකුරණ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළඳ සලකට

රුපියල් ලක්ෂ පහ හමාරකට විකුණා මුදල් සහ චෙක්පත් ලබාගෙන ඇති අතර එම මුදලින් රුපියල් 22,000ක් ගෙවා නවීන දුරකතනයක් ද මිලදී ගෙන තිබිණ.ඉන් පසුව දෙවනවර ද ඔහු එම නිවස කඩා ඇතුළු වී වෙනත් කාමරයක තිබූ රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා ආභරණද සොරකම් කරනු ලැබ තිබිණ. මෙම දෙවැනි සොරකමෙන් පසුව පළමු සොරකමද නිවැසියන් දැනගෙන ඇති අතර ඉන් අනතුරුව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සොරකම සිදු වූ නිවසට යාබද නිවසකට පසුගිය සංචරණ සීමා සමයේ පැමිණ සිටි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ දැනට පදිංචි පුද්ගලයකු ගැන සැක කර ඔහු පිළිබඳව සොයා බැලීමේදී මෙම තොරතුරු හෙළි වී තිබේ. සැකකරු පළමු වර සොරකම් කළ රන් භාණ්ඩ අකුරණ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවී සලකට රුපියල් ලක්ෂ පහ හමාරකට සහ දෙවැනි වර සොරකම් කළ රන් භාණ්ඩ මහනුවර ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලකට රුපියල් ලක්ෂ 27,67,770කට (විසිහත් ලක්ෂ හැටහත්දහස් හත්සිය හැත්තෑවකට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගනු ලැබ තිබේ. මෙම සැකකරු විසින් සොයාගෙන ඇති රන් භාණ්ඩ අතර රන් වළලු 5ක්, කරාබු ජෝඩු හතරක් සහ තනි එකක්, කාන්තා මුදු අටක්,

බ්‍රේස්ලට් දෙකක්, රන්මාල දෙකක්, තැලි දෙකක්, පෙන්ඩන්ට් එකක් ද ඇතුළත් වෙයි. මෙලෙස සොරකම් කර ඇති රන් භාණ්ඩවල මුළු බර ග්‍රෑම් 296 මිලිග්‍රෑම් 480ක් වෙයි. ඒවා පවුම් 37ක් පමණ වෙයි. මෙම සැකකරු මහනුවර දංගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු සිව් දරු පියෙක් ද වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

(හාරිස්පත්තුවේ - මොහොමඩි ආසික්)