basil-new-finance-minister

පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් අද දින නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන ජූලි මස මුල් සතියේ 06 අඟහරුවාදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නට නියමිත බවත් අනතුරුව එදින සවසම 'මුදල් හා ආර්ථික සංවර්ධන' කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි.


බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණීමට පැවති ද්විත්ව පුරවැසිභාව බාධාව පසුගිය 20 වන සංශෝධනයෙන් ඉවත් කෙරුණ අතර ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට ඒමට හැකි ලෙස ආසනයක් ලබා දෙන්නේ දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දරන මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව බවද දේශපාලන ආරංචි වාර්තා කරයි.
බැසිල් 2010-2015 සමයේ ආර්ථික සංවර්ධන ඇමති ලෙසද කටයුතු කර තිබෙන අතර ඒ සමයේ බලතල රාශියක් සහිතව ව්‍යාපෘති ගණනාවක් මෙහෙයවූ ආකාරය ගැන අද පවා බොහෝ අය විවිධ ලෙස කතා කරති.
මෙවර නැවතත් බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ලැබෙන්නේ සිය සොයුරු අගමැති මහින්ද යටතේ පවතින මුදල් ඇමති ධූරයද සමගිනි.
නව අමාත්‍ය ධූර ලැබීමෙන් පසු  ප්‍රසාදය ජනිත කිරීමේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙට්‍රල් මිල රුපියල් 5ත් 7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් 3ත් 5ත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අඩු කරනු ඇතැයිද වාර්තාවේ.


පසුගිය දිනවල පෙට්‍රල් මිල වැඩි කරන ලද්දේ මේ ආකාරයට අඩු කිරීමට බවටත් ‘බැසිල්ට තමයි අඩුකරන්න පුළුවන්‘ යනුවෙන් කතාවක් රජයේ පාර්ශ්වයෙන්ම පතුරුවාහැරීමට මුල් වූයේ මෙම ඇමති ධූරය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීමට බවත් මේ අතර දේශපාලන අංශ විග්‍රහ ඉදිරිපත් කර තිබේ.
ඒ අතරම දේශපාලන ආරංචි පවසන්නේ ඊළඟ ජනපති ධූර අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ නිල නොවන මට්ටමින් නම් කර ඇති බවකි.