දැනට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවකට පමණ ප්‍රතිකාර කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින්නේ පොළොන්නරුවේ බවත් පෙර තත්ත්වයන්ට වඩා තුන්වන රැල්ලේ ආසාධිතයන්ගේ වයිරස් ප්‍රභේදය වෙනස් වෙමින් දැඩි සත්කාර ලබා දිය යුතු රෝගීන් වැඩි වූ බවත් ඊට අවශ්‍ය පහසුකම් හිඟයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩල අපහසුතාවට පත්ව සිටි බවත් පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ පොළොන්නරුව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල පොළොන්නරුව මහ රෝහලට අවශ්‍ය උපකරණ කට්ටල තොගයක් භාර ගැනීමේ අවස්ථාවට පෙරේදා (29 වැනිදා) සවස එක්වෙමිනි. රෝහල් අධ්‍යක්ෂවරයා මෙසේද කීය.



“වැලිකන්ද මූලික රෝහල කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරලා දැන් වසර දෙකකටත් ළඟයි. අපි ලංකාවේ දැනට වාර්තා වෙලා තියෙන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් එකකට වැඩි රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කර තිබෙනවා. ඒක ඉතාම අපහසු දුෂ්කර කාර්යක්. අපේ වෛද්‍යවරු, හෙද හෙදියන් පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා, කනිෂ්ඨ කාර්ය මණ්ඩල පමණක් නෙමෙයි ආරක්ෂක අංශ පවා අපිට මේ කාර්ය සඳහා සහාය දුන්නා. මේ සියලුම දෙනා එකතු වෙලා රටට ආදර්ශයක් සපයපු දිස්ත්‍රික්කයක්. එවැනි කාර්ය මණ්ඩලයක් එක්ක වැඩ කරන්න ලැබීමත් ඇත්තටම සතුටක්. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අපහසුතා මම දැක්කා. ඒ අතර තිබුණ එකක් තමයි මේ තුන්වන රැල්ලේ දී අපට වාර්තා වුණ රෝගීන්ට වඩා වෙනස් ස්වරූපයක් ගත්තා. අපි පුනානිවලට 900ක් ඇතුළත් කළොත් එයින් 890ක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව අපි එතනින්ම මුදා හැරියා සුව වෙලා.

නමුත් තුන්වන රැල්ලේ 900ක් පූනානිවලට ආවොත් 100ක් විතර අපිට අධි සත්කාර ඒකකවලට යොමු කරන්න වෙන තත්ත්වයක් තිබෙන්නෙ. එතන දී අපට තිබුණ ප්‍රධානම ප්‍රශ්නය තමයි අවශ්‍ය ඔක්සිජන් සහිත අධි සත්කාරක උපකරණවල හිඟය. පොළොන්නරුව මහ රෝහල 2015 ඉඳලා 2020 දක්වා වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් පැත්තෙන් හැම දේකින්ම අංග සම්පූර්ණ වූ නිසා පොළොන්නරුවේ තිබුණු උපකරණ තමයි වැලිකන්දට, පූනානිවලට, කන්දකාඩුවලට, ගල්ලෑල්ලට ගෙන ගියේ. නමුත් මේ හදිසි වැඩි වීමත් එක්ක අර්බුදකාරී තත්ත්වයක් මතු වුණා .අමාත්‍යාංශයෙන් ලැබුණු උපකරණවල ප්‍රමාණය සලකලා බැලුවත් අපිට මේ අර්බුදකාරී තත්ත්වය මතු වුණා. ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කළේ ඒ අනුව තමයි නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා හොඳ තත්ත්වයේ උපකරණ තොගයක් ලබා දෙන්න කටයුතු කළා. “

බණ්ඩාර මුදියන්සේ - පොළොන්නරුව