සූරියවැව බැන්දේවැවදී ගිනිඅවියක් පෙන්වා දැරියක් පැහැර ගත් බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අදාළ දැරියන්ගේ පියා හා බාප්පා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස හම්බන්තොට වැඩබලන මහේන්ස්ත්‍රාත් ආරියසේන මහතා පෙරේදා (05දා) දහවල් නියෝග කළේය.

දැරියන්ගේ පියා වන 32 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහු බාල සොහොයුරා මෙසේ ඇප මත මුදා හරින ලදී.සැකකරුවන් වෙනුවෙන්පෙනී සිටි නීතීඥ සංජය වෙන්නප්පුලි මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැරිය සිය පියා භාරයේ තබා ගැනීමට ද අවසර ලබා දුන්නේය.

 

සූරියවැව, බැදෛවැව, නුගේකන්ද,


පදිංචිව සිටි වයස අවුරුදු 06ක දැරියක් යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් සිවුදෙනෙකු විසින් ගිනිඅවියක් පෙන්වා නිවැසියන් බියගන්වා ඉකුත් 04 වැනිදා අලුයම පැහැරගෙන ගිය බවට දැරියගේ පියා වන 32 හැවිරිදි තිළිණ නයන සමරසිංහ යන අය විසින් සූරියවැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව සූරියවැවපොලීසිය පරික්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී පියාගෙන් සිද්ධිය පිළිබද සිදු කළ ප්‍රශ්න කිරීමේදී ලබා දී ඇති පරස්පර විරෝධී ප්‍රකාශ කේන්තුවෙන් සූරියවැව පොලීසිය විසින් දැරියගේ පියා හා ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම පියා හා පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කළ සිදු වීමක් බවයි. මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලීසියට ගෙන්වා ගැනීමට හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිද හසුකිරිමේ අරමුණින් සැකකරුවන් මෙය සිදු කොට ඇති බවද අනාවරණය වී ඇත.


මෙහිදී සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පසුගිය 03 වැනිදා සිය දැරිය සූරියවැව පිහිටි ඥාතිවරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව 4 වැනිදා අලුයම මෙම පැහැර ගැනීම සිදු වූ බවට සැකකාර පියා විසින් සූරියවැවපොලීසියට පැමිණිල්ල සිදු කර තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදි සැකකරු මුල් අවස්ථාවේදීම සිද්ධිය පිළිබඳ වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස ශරීර ඇප මත මුදා ඇත.

 (සූරියවැව නුවන් ජයසේකර )