පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් තම බිරිඳ බිය වැද්දීමට ඇගේ ලොකු අම්මාගේ නිවසේ මිදුලට ෆ්‍රෙන්ඩ් ලොන්චර් වර්ගයේ අවි සඳහා භාවිත කරන උණ්ඩයක් විසි කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පර්යේෂණ සිදු කරන බව අක්මීමන පොලීසිය පවසයි.

පෙරේදා (27දා) රාත්‍රී මෙම උණ්ඩය විසිකොට ඇති අතර ඒ බව අක්මීමන කාසල්හිල්වත්ත නරාවල පදිංචි නිවෙස් හිමියා විසින් අක්මීමන පොලීසියට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත. සැමියා සමග අමනාප වී  බිරිඳ ලොකු අම්මාගේ නිවසට පැමිණ සිටි බවට පොලීසිය පවසයි.

මේ නිසා සැමියා විසින් මෙම උණ්ඩය විසි කරන්නට ඇති බවට සැකකරන අතර ජංගම මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් උණ්ඩය පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු හියාරේ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර යුද හමුදාවේ හිටපු අයෙකු බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.මෙම උණ්ඩය අලංකාරයට සැකකරුගේ නිවසේ තිබූ එකක් බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අක්මීමන පොලීසිය පරික්ෂණ පවත්වයි.

(ජිනේෂ් නානායක්කාර)