ඒක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය ඇති වූ සැණින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා නම් විදේශවලින් අවශ්‍ය ආධාර ගැනීමට හැකියාව තිබිණැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  “හානිය සීමා කර ගැනීමේ පියවර තිබුණ ද ආණ්ඩුව ඒ එකක්වත් අනුගමනය නොකර හානිය වර්ධනය කරගෙන තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා,  දැන්වත් මේ සතියේදීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර ඉදිරි පියවර ගතයුතු බව ද ප්‍රකාශ කළේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.


“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව බලාපොරොත්තු වූ ලෙස වරායට ඇතුළු කර තිබිය දී පිපිරුවා නම් වරායේ සිට ෂැන්ග්‍රිලා හෝටලය දක්වා කිසිම  ගොඩනැගිල්ලක් ඉතිරි වන්නේ නැහැ.

අද තිබෙන ප්‍රශ්නය වන්නේ මෙවැනි තත්වයක් වර්ධනය වීමට ඉඩ දුන්නේ ඇයි ද යන්නයි. නැව ලංකා මුහුදු සීමාවට ආවේ මැයි 19 වැනිදා යි. මැයි 20 වැනිදා අපේ කණ්ඩායම නැවට ඇතුළු වුණා. එමෙන්ම ගින්න තිබෙන බව දැනගෙන සිටියා. මැයි 25 වන විට ලංකාවේ සමුද්‍රීය ආරණය සම්බන්ධයෙන් කටයුතු කරන මීපා ආයතන සහ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය International meritime  organization මේ සම්බන්ධයෙන් අනතුරු හැඟවීම් කළා.  ලංකාවට ගින්න පාලනය කරන්න අපහසු වුවහොත් පිටින් ආධාර වුවමනා  වේයයි ඔවුන් සඳහන් කර තිබුණා. නමුත් ඒ සංවිධානය දැනුම් දුන්නෙත් ඔවුන්ගෙන් ආධාර ඉල්ලුවේ නැහැ.


මැයි 20 සහ 24 අතර කාලයේ දී මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයි? ඒ නීතිය වන්නේ ආපදාවට කළමනාකරණ පනතයි. ඒ යටතේ ජාතික සභාව රැස් කරන්න තිබුණා. එමෙන්ම ආපදා තත්වය ප්‍රකාශයට පත් කරන්න තිබුණා. ජනපති - අගමැති ඇමැතිවරුන් විස්සක් සහ විපක්ෂ නායක සහ විපක්ෂයේ තවත්  පස් දෙනකු ඊට ඇතුළත් කරන්න පුළුවනි.  අපගේ ආර්ථිකයට වෙන හානිය කුමක් ද? පරිසරයට වන හානිය කුමක් ද? මේ පිළිබඳවත්  සිතිය යුතුයි.  විශේෂයෙන්ම නයිට්‍රික් අම්ලය මුහුදට වැටීමෙන් රට අවට මුහුදේ කොරල් පර විනාශ විය හැකියි. සුනාමි වැනි විපත්වලින්  යම් පමණකට බේරෙන්නට හැකි වන්නේ කොරල් පර නිසයි. කොරල් පර විනාශ වුවහොත් රටේ ඒ ආරක්ෂාව නැති වෙනවා.  මේ සතියේ දී පාර්ලිමේන්තු රැස් වෙනවා.

ඒ නිසා වහාම මේ පිළිබඳව කටයුතු කිරීමට තේරීම් කාරක සභාව පත් කරන්න.


ඒ සඳහා මන්ත්‍රීවරුන් නම් කර දින දෙකක් ඇතුළත සියල්ල කළ හැකියි. ඉන් පසු ජූලි පළමු සතිය වන විට පළමු වාර්තාව ඉදිරිපත් කළ හැකියි. මේ පිළිබඳ දැන ගන්න පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙනවා. පාර්ලිමේන්තුව මාර්ගයෙන් ජනතාවට ද අයිතියක් තිබෙනවා. මේ තත්වය ඇති වූයේ කෙසේද දැන් ගත යුතු පියවර කුමක්ද? යන කාරණය දැන ජනතාව දැනගත ද" රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


- අංජුල මහික -