පවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඊයේ (ජූනි 3) දිවයින පුරා සිටින රුධිර දායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය. 



රුධිර පරිත්‍යාගයට පැමිණෙන රුධිර දායකයින්ට ලේ බැංකු වෙත පැමිණීමට ඇති බාධා අවම කර ඇතැයිද හෙතෙම කියා සිටියේ ය.

ඒ අනුව, 0115332153 සහ 011 2369931 යන දුරකතන අංක අමතා හෝ www.nbts.health
වෙබ් අඩවිය වෙත පිවිස පහසු වේලාවක් වෙන් කරවා ගෙන අදාළ තොරතුරු ලේ බැංකු වෙත ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරයා රුධිර දායකයින්ගෙන් ඉල්ලා සිටියි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා;

"ඔබේ දත්ත අප ආයතනය ලබා ගැනීමෙන් පසුව ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබේවි. එය
මහමගදී හමුවන පොලිස් නිලධාරීන්ට පෙන්වා ලේ බැංකුවට පැමිණීමට හැකියි.

එසේ ම මෙම කෙටි පණිවිඩය පෙන්වා ඒ මුවාවෙන් ඔබේ වෙනත් ගමන් බිමන් සඳහා මෙය යොදාගන්න එපා කියලා අප දිවයින පුරා සිටින රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ පවතින තත්ත්වය හමුවේ අපිට රුධිරය ඉතා අවශ්‍යයි. වෙන දා රුධිර කඳවුරු වලින් ප්‍රමාණවත්
රුධිරය අපට  ලැබෙනවා. නමුත් මේ කොරෝනා තත්ත්වය නිසා මහා පරිමාණ ලේ දන් දීමේ කඳවුරු
සංවිධානය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි වෙන්නේ."

හෂාන් පුෂ්පික - පන්නිපිටිය