central-bank-advise-private-banks

පෞද්ගලික බැංකු රැසක් අද (7) සිට දින හතක්  සියලුම ශාඛා වසා තබන බව එම බැංකු නිවේදන නිකුත් කරමින් පවසා තිබුණි.
මේ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් ආදී පෞද්ගලික බැංකු ලබන 13 වැනිදා දක්වා වසා දමන්නට නිවේදන නිකුත් කර තිබුණි.
‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම වැලැක්වීම සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය බැංකු සේවා සඳහා බැංකු සේවා සිදු නොකරන බව ඔවුන් පවසා තිබූ අතර ඔන්ලයින් සේවා හා ඒටීඑම් සේවා ක්‍රියාත්මක බව දන්වා තිබුණි.


කෙසේ වෙතත් අද සවස වාර්තාවූයේ මෙම තීරණයට මහ බැංකුව අප්‍රසාදය පළ කර ඇති බවයි. ඒ ගැන කරුණු විමසීමේදී අදාළ පුද්ගලික බැංකු සිය අපහසුතා පෙන්වාදී ඇති අතර ඒවා සකසන්නේ නම් විවෘත කළ හැකි බව දන්වා ඇත.
ඒ අනුව ‘කොවිඩ්-19’ වසංගතය පැතිර යෑම පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂිත පියවර සහ සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත් බව‍‍ ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතු අතර බැංකු විවෘත කළ යුත්තේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා පමණි.
මූල්‍ය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාශන, විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීම්, සහ පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා/ඉල්ලීම් යනාදී අත්‍යවශ්‍ය බැංකුව සේවා සඳහා පමණක් බැංකු විවෘත කළ යුතු වේ.
වැඩ වාර සටහනකට අනුව සේවකයන් ගෙන්විය යුතු වන අතර ඒ ඒ බැංකු ශාඛාවේ බැංකු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව නිශ්චිත දිනවලදී බැංකු විවෘත කළ යුතු වේ.
බැංකු කළමනාකරුවන් ළඟම පොලිස් ස්ථානයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර බැංකුවේ සේවකයන්ට ගමනා ගමනය කිරීම සඳහා අවසර ලිපියක් ද ලබා දිය යුතු වේ.
මේ අනුව වසා තබන ලද බැංකු සිය වෙනස් කළ තීරණ අනුව බැංකු විවෘත කිරීම ගැන නැවත ඉදිරියේදී දැනුම් දෙනු ඇත.