කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිදහස් වූ ප්ලාස්ටික් කැට සෝමාලියාව සිට ඉන්දුනීසියාව දක්වාත් ඉන්දියාවේ සිට මාලදිවයින දක්වාත් ඉන්දියන් සාගරය පුරාම ගමන් ගනු ඇති බවත්, මේ සිදුවීමෙන් වූ පරිසර හානිය තවත් දශක ගණනාවකට බලපානු ඇති බවත් බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළබඩ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පවසයි.  එසේම මෙම හානිය අවම කරගැනීම සඳහා සිදුකළ හැකි එකම ක්‍රියාව ප්ලාස්ටික් කැට හැකි තරම් සාගරයෙන් සහ වෙරළින් ඉවත් කිරීම බවද ඔහු පවසා සිටියි. මේ වනවිට සාගරයට නිදහස් ඇති ප්ලාස්ටික් කැට සාගර ජීවීන්ට බලපෑම් කරන ආකාරය පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්යවරයා. "තවත් දශක ගණනාවකට මෙම සිදුවීම බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේම මෙවැනි සාගරික විනාශවලට මුහුණදීමට අපේ පෙර සූදානම මදි.

අපි ක්‍රියාත්මක වන්නේ යම් ප්‍රශ්නයක් ඇති වූවාට පසුවයි. මේ නිසා මෙවැනි සාගරික විනාශවලට මුහුණදීමට අප සතුව සැලැස්මක් තිබිය යුතුයි. මෙම ප්ලාස්ටික් කැට සමස්ත ඉන්දියානු සාගරය පුරාම ගමන් කරනු ඇති. ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ සෝමාලියාව දක්වා මේවා පැතිරෙන පුළුවන්. ප්ලස්ටික් කැට විෂ නැහැ. එහෙත් අධිකව මේවා ශරීරගත වුණාත් සාගර ජීවීන් මියයන්න පුළුවන්. මේ ස්ලාස්ටික් කැට මාළුන්ගේ කරමලයේ හිරවෙන්න පුළුවන් ඒ වගේම කැස්බෑවන්, ඩොෆින් වැනි සතුන්ගේ හුස්ම හිරවීමට මේ ප්ලාස්ටික් කැට හේතු වෙන්න පුළුවන්. එය භයානකයි. මේ නිසා ප්ලාස්ටික් කැට අපට හැකි උපරිමයෙන් ඉවත් කිරීමෙන් හානිය අවම කරගැනීමට කටයුතු කළ යුතුයි”යනුවෙන්ද කියා සිටියේය.