අයහපත් කාලගුණ තත්වය නිසා මේ වනවිට ජීවිත අහිමිව ඇති පිරිස 16 ක් පමණ වේ. ඒ අතර මාවනැල්ලේ දෙවනගල සිදුවූ පවුල පිටින් වැළලී ගිය සිද්ධියත්  රත්නපුර අයගම දුම්බර ඉහළපොළ ප්‍රදේශයේ නාය යෑමෙන් වයස 16 පාසල් සිසුවියක මියයාමේ සිද්ධියත් සිත් කම්පා කරවූ අවස්ථා දෙකකි.

දෙවනගල අධික වැසි තත්ත්වයත් සමඟ ඇතිවූ නාය යෑම නිසා මහා පස් කන්දක් සමඟ ගස් කොළන් මෙන්ම ගල් පර්වත කිහිපයක්ම නිවෙස් මතට පෙරළී නිවාස දෙකකට බරපතල හානි සිදුවිය.
පවුල පිටින් වැළලුණ නිවස මේ එකකි.
මහ වැසි මැද නාය ගිය නිවෙසට වැටී තිබූ පස් තට්ටුව සහ ගල් පර්වත ඉවත් කිරීමට යුද හමුදාවට
මෙන්ම සියලු ආරක්ෂක අංශවලටත් ප්‍රදේශවාසී ජනතාවටත් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබිණි. එම ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතුවලට තරමක් විශාල බැකෝ යන්ත්‍ර ළඟා වීමට නොහැකි වූයේ මාර්ග දුෂ්කරතා හේතුවෙනි.

එබැවින් කුඩා බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් පස් සහ අනෙකුත් දෑ ඉවත් කරමින් පස්වල යට සැඟවී ගිය මිනිස් සිරුරු සොයා ගැනීම සිදුවිය. පැය 06කට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙයුමකින් අනතුරුව මළසිරුරු ගොඩට ගත් අතර ඒවා යුද හමුදාව රැගෙන විත් ගිලන් රථයකින් මාවනැල්ල මූලික රෝහලට යැවීමට කටයුතු කරන ලදී.
මෙහිදී 23 හැවිරිදි  උමේෂා මධුවන්ති විජේරත්න දියණිය එම පවුලේ පියා වන 57 හැවිරිදි කංකානමලාගේ විජේරත්න මව වන 55 හැවිරිදි ලලිලා වීරසිංහගේ පුතණුවන් වන 29 හැවිරිදි කංකානමලාගේ ශානික පුෂ්පකුමාර යන අයගේ දේහයන් සොයා ගෙන තිබිණි.

මියගිය සිවු දෙනා එකම පවුලේ මව, පියා සහ දියණිය මෙන්ම පුතණුවන්ය. මව හා පියා රැකියාවක්
නොකරන අතර දියණිය මාවනැල්ල ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කළාය. 29 හැවිරිදි පුතණුවන් වසර කිහිපයක් මාලදිවයිනේ රැකියාවක් කොට මීට මාස කිහිපයකට කලින් ලංකාවට පැමිණ ඇත්තේ නාය ගිය ස්ථානයට ඈතින් ආරක්ෂක ස්ථානයක භාගෙට සකස් කර තිබූ ඉඩමේ වැඩ අවසන් කර නැවත රැකියාව සඳහා පිටත්වීම අරමුණු කරගෙනය.
නාය යෑමට පෙර දිනයේ අලුත් නිවෙස කපරාරු කිරීමට සිමෙන්ති මිටි 18ක් පමණ ඊට පෙර දින ගෙනැවිත් උදෑසන වැඩ පටන් ගන්නට තම ගමේ පෙදරේරුවන් කිහිපදෙනකුටද වැඩට එන්නට ඔහු ආරාධනා කර ඇත.

-----------


අධික වර්ෂාවත් සමග දුම්බර ග්‍රාමසේවා වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ විශාල කන්දක් නාය යෑම හේතුවෙන් වයස අවුරුදු 16 සිතුමිණි පෙරේරා නමැති දැරියද මරුමුවට පත් වූවාය. සිතුමිණිගේ සිරුර කුරුවිට යුදහමුදා සෙබළුන් සහ ආපදා සහන කණ්ඩායම් විසින් 04 වැනිදා දහවල් සොයා ගනු ලැබීය.
උදේ හයයි දහයට විතර මම පාරේ සිටිද්දීම ශබ්දයක් ඇසුණ. මම පාරේ ඉඳන් අපේ ගේ දිහා බලන විට ගේ  පෙනෙන්නට තිබුණේ නැහැ.

පස් කන්දෙන් ගෙදරවැසි තිබුණා, යැයි කිරිඇල්ල දුම්බර ප්‍රදේශයේ නාය යාමෙන් මියගිය 16 හැවිරිදී දැරියගේ පියා පැවැසීය.
සිතුමිණි පාසල් සිසුවියකි. සුන්දර යුවතියක මෙන්ම අහිංසක යුවතියකද වූ ඇයගේ අකල් මරණය නිසා මැදපොළගමම කම්පාවට පත්ව තිබේ. සිතුමිණිගේ පියා අල්විස් පෙරේරා මහතා මෙසේ  කීවේය.  පහුගිය 04 උදෑසන මම නිවෙසින් එළියට ගියා. මගේ දියණියත් බිරියත් නිවසේ සිටියා. මම උදෑසනම ගෙදරින් එළියට ගොස් සිටියේ.  රාත්‍රි කාලය පුරාම හොඳටම වැස්සා. උදේත් වර්ෂාව තිබුණා. උදේ හයයි දහයට විතර මහා ශබ්දයක් ඇසුණා. මම සිටියේ ගෙදර පේන තෙක්  මානයේ. ඉහළපොල මාර්ගයේ. විශාල ශබ්දය නිසා ගෙදර දෙස බැලුවා. ගෙදර පෙනෙන්නට තිබ්බේ නැහැ.  මම පාරේ සිටියේ. ඒ අසල සිටි සාගරිකා නංගි කිව්වා අයියේ ඔයාලගේගේ යට වුණා කියලා. මට හිතාගන්න බැහැ. පස්සේ තමයි මට දැනුණේ කන්ද නාය ගිහින් ගෙදර යටවෙලා කියලා. මම දුව ගොස් බැලුවා. බිරිය වැටිලා සිටියා.
කෝ දුව කියා ඇසුවා. දුව නිදාගෙන හිටියේ කිව්වා. දුව නිදාගෙන සිටි තැන පස්වලින් යටවී තිබුණා. අයිවන් මහතාගේ බිරිය හොරණ රෝහලට  ඇතුළත් කරනු ලැබුවාය. සිතුමිණි දියණිය නිදි පැදුරේදීම අවසන් සුසුම් හෙළා තිබුණි. යුද හමුදා සෙබළුන් සහ ගම්වාසීන් විසින් දැරියගේ සිරුර සොයා ගනු ලැබීය.
පෙරේදා (05 වැනිදා)  සිතුමිණි උපන් ගමේ දී ඇයගේ අවසන් කටයුතු සිදු විය.