පවතින තත්වය හේතුවෙන් වැඩිහිටියන් දිනකට එක් වතාවක් පමණක් ප්‍රවෘත්ති නැරඹීම හෝ ඇසීම සිදුකරන ලෙස දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ, වැඩිහිටි වෛද්‍ය ඒකකයේ, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර මහතා ඉල්ලා සිටියි.  ඒ මහතා පෙන්වා දෙන්නේ, 



කෝවිඩ් මරණ පිළිබඳ පුවත් නිරන්තරයෙන් මාධ්‍ය හරහා වාර්තා වන බැවින් ඒවා වැඩි වශයෙන් මනසට බලපෑම තුළ වැඩිහිටියන්ගේ මානසිකත්වය අයහපත් අතට පත්විය හැකි බවයි. ඒ අනුව මනසට සුවදායි වන වැඩසටහන් නැරඹීම හෝ ඒවාට සවන්දීම වැඩිහිටියන් විසින් සිදුකළ යුතු බවත්, එසේම පවුලේ අය සමග සමීපව කටයුතු කළ යුතු බවත් විශේෂඥ  වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


 මීට අමතරව පිටතට ගොස් පැමිණෙන  නිවැසියන් හා නිවසට පැමිණෙන වෙළෙඳුන් ඇතුළු අනෙකුත් පිටස්තර පුද්ගලයන්ගෙන් අවම වශයෙන් මීටරයක පමණ දුරක සිට කටයුතු කිරීමටද වැඩිහිටියන් නිරන්තර අවධානය යොමු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (16දා) පැවති කෝවිඩ් මාධ්‍ය හමුවට එක් වෙමිනි.

- නිදර්ශනී වික්‍රමසිංහ-