ජනතා බදු මුදල් භාවිත කරමින්, පවුලේ සාමාජිකයන් සමග උදෑසන ආහාර ලබා ගත් බවට ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 35 හැවිරිදි අගමැතිනිය මාසයක් පුරා සිය පවුලේ අය සමග,
අග්රාමාත්ය නිල නිවසේ (කෙසරන්ටා මන්දිරයේ) උදේ ආහාර ලබා ගෙන ඇත්තේ ජනතා බදු මුදලින් යැයි අනාවරණය කෙළ් ෆින්ලන්තයේ “ ඒල්ටොලැටි " නමැති ටැබ්ලොයිඩ් සගරාවය.‘ ඒල්ටොලැටි' සඟරාවට අනුව, අගමැතිනිය මාසයක කාලයක් උදෑසන ආහාර සඳහා වියදම් කර ඇති මුදල යුරෝ 300 (රුපියල් 72,431 ක් පමණ) කි. ‘ ඒල්ටොලැටි' සඟරාව එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ෆින්ලන්ත පොලිසියට විමර්ශන ආරම්භ කළේ පසුගිය සිකුරාදා (28) ය.
නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවය. වරදක් සිදුවුණු බව ඔප්පු වුවහොත් අගමැතිනියට මෙම මුදල යළි රජයට ගෙවීම අනිවාර්යය වන අතර, ඇයට නියම වන දඩුවම නඩු විභාගයකදී තීරණය වනු ඇතැයි ෆින්ලන්ත නීති විශාරදයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. සන්නා මරින් නියෝජනය කරන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයයි. ඇය අග්රාමාත්ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේය. මරින් විවාහ වූයේ 2020 දීය. ඇයට සිඟිති දියණියක ද සිටී. පක්ෂ නායකත්වය හිමිකර ගනිමින්, අග්රාමාත්ය ධුරයට පත්වීමට පෙර, ප්රවාහන සහ ජන සන්නිවේදන ඇමැතිවරිය ලෙස කටයුතු කළාය.
0 Comments