ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමී නගරයේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් සියගණනක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
1981 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල දකුණු ෆ්ලොරිඩාවේ මියාමි වෙරළ තීරයට මුහුණලා පිහිටි බව කියැවේ.
එහි නිවාස ඒකක 130 ක් හා ඊයේ වනවිට පදිංචිය සහිත ඒකක 102 ක් තිබූ බව වාර්තා කර තිබේ.මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිට ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බවත් ඒ ගණන සියය ඉක්මවා යා හැකි බවත් මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 58 දෙනෙකු පමණ මේ වන විට බේරාගෙන රෝහල්ගත කර ඇති අතර මියගිය එක් අයකුගේ සිරුරක් සොයා ගෙන තිබේ‍.
කෙසේ වෙතත් පුහුණු සුනඛයන් හා ඩ්‍රෝන යානා භාවිත කරමින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.