
තෙල් මිල ස්ථාවර කිරීම සඳහා එකතු කළ රුපියල් කෝටි විසි දහසක අරමුදලට සිදුවූයේ කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පෙරේදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විමසීය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද කීය.
පහුගිය කාලයේ තෙල් බැරල් එකක මිල ඩොලර් 40ට විතර අඩුවුණු වෙලාවේ ඒ සහනය ලබා නොදී ඉදිරියේදී තෙල් මිල වැඩිවූ අවස්ථාවල සහනය ලබාදීම වෙනුවෙන් අරමුදලක් හදන බව කීවා.
මහ බැංකු වාර්තාවේම සඳහන් කර තිබෙන්නේ “වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන ඛනිජ තෙල් මිල ගණන්වලින් ප්‍රතිලාභ ලබමින් මාස 06ක් තුළ බිලියන 200ක මුදලක් රැස් කිරීමේ ඉලක්කය ඇතිව රජය විසින් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටෙව්වා” කියලා. ඉන්ධන මිල ස්ථාවරය පවත්වාගෙන යෑමේ අරමුදල මිල අඩුවුණු වෙලාවේ පිහිටෙව්වා. දැන් ඒ අරමුදලට මොකද වුණේ?
අද ඒ අරමුදල ගැන ආණ්ඩුව වචනයක්වත් කතා කරන්නේ නැහැ. කෝටි 20,000ක අරමුදලක් හැදුවා නම් ජනතාවට දෙනවා කියූ සහනය දැන් දෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරලා තියෙන්නේ ජනතාවට පාරට බහින්න බැරි කරලා කොරෝනා වසංගතය පිට දාලා තවත් බර පටවමින් ඉන්නවා. අපි කවුරුත් එකතු වෙලා මුළු රටක් හැටියට විරෝධය පාන්න ඕනෑ.
මේ මිල වැඩිකිරීමෙන් ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටත් විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. මිල වැඩි කිරීමෙන් විතරක් අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයකින් 12.84ක අමතර ලාභයක් ලබනවා. තෙල් සංස්ථාවට වඩා දෙගුණයක ලාභයක් මේ මිල ගැලපීම් අනුව අයි.ඕ.සී සමාගමට ලැබෙනවා. ජනතාවට සහන දෙන්න ඕන වෙලාවේ තෙල් සංස්ථාවට කොටසක් ලබාගන්න අතර අයි.ඕ.සී. එකට විශාල ලාභයක් ලබාගන්න ඉඩ හදලා දෙනවා. අපේ රටේ ජනතාවට ඉතාම පැහැදිලිව බරපතළ අර්බුදයන් මේ තුළින් ඇති වෙනවා. එදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටෙද්දී ඒ සහනය ජනතාවට ලබා නොදී එකතු කර ගත්ත මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න අද බැරිවෙලා තියෙන්නේ ඇයි?
Comments
Post a Comment
Your comment will be visible after approval