galle-incident

ගාල්ල කරාපිටිය නගරයේදී තරුණියක ගමන් කළ මෝටර් රථයක් පැහැරගෙන ඇයව කොල්ලකෑ සිදුවීමක් වාර්තාවේ.


අක්මීමන, හියාරේ අමල්ගම ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය තම නැගණිය සමග කරාපිටිය නගරයේ පිහිටි රජයේ බැංකුවකට පෙරේදා (23 වැනිදා) මධ්‍යහ්නයේදී පැමිණ ඇත. ඇයගේ නැගණිය විසින් මොටර් රථය පදවා තිබේ. බැංකුව ඉදිරිපිට රථය නතරකළ නැගණිය, සහෝදරිය කාර් රථය තුළ සිටියදීම මුදල් හා චෙක්පත් තැන්පත් කිරීම සඳහා බැංකුවට ගොස් ඇත.



මේ අතර, එක වරම රියට ගොඩවූ තරුණයකු විසින් වාහනයක් ගැනීමට ඉඩ ලබාගැනීම සඳහා මෝටර් රථය පසුපසට ගැනීමට අවශ්‍ය බව පවසා රථය පසුපසට ගන්නදැයි අවසර ගෙන ඇත. ඊට එකඟවීමෙන් අනතුරුව හෙතෙම මෝටර් රථය පණගන්වා හිරිඹුර දෙසට පදවාගෙන ගොස් ඇත.
තරුණිය රථය තුළ සිට කෑගසා ඇතත්, කොල්ලකරු විසින් තර්ජනය කර ඇයගේ හිස පහත් කරවාගෙන රථය ධාවනය කර තිබේ. එහිදී කොල්ලකරු තරුණියගෙන් මුදල් හා රන් භාණ්ඩ ඉල්ලා ඇති අතර, තරුණිය සිය අත් පලඳනාව හා මුදල් පසුම්බිය ලබාදීමෙන් පසු කොල්ලකරු ඇයව රත්ගම ප්‍රදේශයෙන් බස්සවා රථය පැහැරගෙන ගොස් තිබේ.
ගිය මෝටර් රථය ඊයේ (24) අලුයම බුස්ස දැව සංස්ථාව අසල දමාගොස් තිබියදී සොයාගත් බැව් ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
තරුණිය රත්ගම ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බස්සවා ඇයගේ අත් පළඳනාව හා රුපියල් 62,000ක මුදලක් සමග කාර් රථය පැහැරගෙන ගොස් තිබුණි.


මෝටර් රථය පැහැරගෙන ගිය කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩී.ජී. ආනන්ද මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

(ජේ.කේ.එල්. චාමින්ද හා එච්. එම්. සමන්)