galle-vaccine

උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඊයේ (07) දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගන්නා අයුරු දක්නට ලැබිණ. මෙහිදී ගාලු ප්‍රදේශවාසීන් කියා සිටියේ ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබාදුන් බවය.  

මෙම චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් විමසුවිට මෙසේ කියා සිටියේය. "මෙම එන්නත ලැබුණේ ලංකාවේ ජනතාවට එන්නත් කරන්නයි.

දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි. එහෙත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරි වී තිබෙනවා. එනිසා කොහෙන් විදගත්තත් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට මේ දෙවැනි මාත්‍රාව තිබෙන තුරු අපි විදිනවා. කිසිම කෙනෙකුට විශේෂයක් නැහැ. පළමු මාත්‍රාව විදපු කාඩ්පත් තිබෙන ඕනෑම කෙනෙකුට එන්නත දෙනවා.  නමුත් අපි කරන මේ සද්කාර්යට සමහරු විවිධ විවේචන එල්ල කරනවා. ඒවා සියල්ලම අප ප්‍රතික්ෂේප කරනවා."


- ඩී.පී.සුගතපාල -