හබරණ අග්බෝපුර ප්‍රදේශයේ ගොවි බිමක පසුගිය 20 වැනිදා මියගිය මව සහ පුතුගේ මරණය ඝාතනයක් බව හබරණ පොලිසිය කියයි. ඒ අනුව ඝාතනයට ලක්වූයේ කිතුල්පතුව, අග්බෝපුර රාජපක්ෂගේ මල්ලිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු 46ක් වන තිදරු මව සහ නරසිංහ මුදියන්සේලාගේ ඉසුරු සෞභාග්‍ය බණ්ඩාර නමැති වයස අවුරුදු 13ක් වන පුතු බව පොලිසිය කියයි. මවට වෙඩි තබා 13 හැවිරිදි දරුවාට තියුණු ආයුධයකින් පහර දී ඔවුන් දෙදෙනා විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට ඇගවීමට නිදා සිටි ඇදේ මෙට්ටයට ගිනි තබා ඇති බවට මූලික පරික්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. පැල් රැකීමට ගිය මව සහ පුතු ඝාතනයට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24ක අවිවාහකයකු බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්වූ මවගේ රන් භාණ්ඩ තොගයක් එම පවුලටම නෑකම් කියන පුද්ගලයකු විසින් සොරකම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීති මාර්ගයට යාමත් සමග ඔහු කලක සිට මෙම කාන්තාව සමග උරණ වී ඇත. දින ගණනාවක්ම මෙම ප්රශ්නය නිරාකරණය කරගැනීමට සමාදාන වන ලෙස ඇගෙන් විමසුව ද ඊට ඇය කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් පසුගිය 20 වැනිදා ඇය සහ ඇගේ බාල පුතූ නිවෙස පිටුපස වගා කර ඇති කුඹුරේ පැල් රකිමින් සිටියදී මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණ සමාදාන වන ලෙස ඇගෙන් ඉල්ලීමක් කර ඇත.
එදින ද ඇය එයට කැමැත්තක් නොදැක්වූ විට ඇයට වෙඩි තබා ඝාතනය කර ඇත. පසුව ඇගේ පුතු එය දැක ඔහු සමග පොර බැදීමට උත්සාහ ගැනීමේදී ඔහු පුතාට පිහියෙන් ඇන ඇති බව මූලික පරික්ෂණවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි. සැකකරු මෙම ඝාතනය සිදුකර ඒ ආසන්නයේ ඇති එක්සයිස් වැවේ තාවුල්ලෙ තුවක්කුව සඟවා පුතු ඝාතනය කිරීමට යොදාගත් පිහිය එම වැවේ මඩේ සඟවා තිබියදී පෙරේදා (23 වැනිදා) පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
මියගිය කාන්තාවගේ සැමියා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර, ඔහු මීට වසරකට පමණ පෙර රිය අනතුරකින් මියගොස් ඇත. ඇගේ වැඩිමහල් දියණියන් දෙදෙනා විවාහ වී ඇති අතර, බාල පුතු සමග දිවි ගැටගසා ගැනීම සඳහා නිවෙස පිටුපස අක්කරයක පමණ වන කුඹුර වගා කරගෙන ඇත. නිරන්තරයෙන් එම ප්‍රදේශයට කඩාවදින වල් අලි වගා බිම් විනාශ කිරීම හේතුවෙන් මෙම මව සහ පුතු පැලට වී වගා බිම ආරක්ෂ කරගැනීම නිරන්තරයෙන් සිදුකරන බව ගම්වාසීහු කියති.
-චාපා මධුභාෂිණි-
0 Comments