harini-speaks

රටක් ලෙසත් ජනතාව ලෙසත් මුහුණ දුන් හැම ප්‍රශ්නයකටම උත්තර සෙවීමේදී ආණ්ඩුමේ නොහැකියාව පෙන්නුවා විතරයි යැයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉකුත් (25) වැනිදා පැවසුවාය.



පැලවත්තේ පිහිටී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක් වූ අමරසූරිය මහත්මිය මෙසේද පැවසූවාය.මේ වනවිට ආණ්ඩුව දිනපතාම අර්බුද සහ විහිළු සපයන තත්වයට පත්ව තිබෙනවා. ජනතාවක් හැටියට හෝ රටක් හැටියට දරා ගන්න බැරි තරමට ප්‍රශ්න ඇතිවෙනවා. මේ තරම් ශීඝ්‍රයෙන් රට කඩා වැටෙන තත්වයකට පත්කළ වෙන ආණ්ඩුවක් අපේ මතකයේ නැහැ. ජනතාව අපේස්කෂා භංගත්වයට පත්වී ඉන්නේ. ගොවීන්, ධීවරයන්, වතු කම්කරුවන්,

ඇඟලුම් යන්ත්‍ර සෙවකයන්, ස්වයං රැකියා වගේම අධ්‍යාපනයේ ගුරුවරුන්, ළමුන් සහ දෙමාපියන් හැම අතින්ම ප්‍රශ්නවලට ගොදුරු වෙලා. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ආණ්ඩුව හැම මොහොතකම පෙන්නුම් කරන්නේ තමන්ගේ නොහැකියාවයි. මෙම රටේ පාර්ලිමේන්තු සංස්කෘතිය ඇතුළු කිසිම දේකට ගෞරවයක් නොදක්වමින් රට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධතීන් විනාශ කරනවා. බැසිල් රාජපක්‍ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැතිකමක් ලබාගත්තාට මේ සියලු අර්බුද විසඳෙන්නේ නැහැ. කලින් කිව්වේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා සියලු පැන විසඳනවා කියලා.

ඊට කලින් කිවිවේ මහින්ද රාජපක්‍ෂ මහත්මයා ගැන. දැන් බැසිල් රාජපක්‍ෂ මහත්මයා ගැන කියනවා. මේ විහිළුව මොකක්ද? පවුලේ එකිනෙකා විරයා බවට පත්කරමින් එළියට දානවා. එන එන කෙනා ෆේල් වෙනකොටෙ පැත්තකට දාලා අනෙක් එකෙන් ගන්නවා. මේ රටේ රාජපක්‍ෂවරු විතරද රටට වැඩක් කරන්න පුළුවන් අය ඉනේ? මේ ප්‍රශ්න විසඳන්න මැජික්කාරයන් නැහැ කියලා කවදද තේරුම් ගන්නේ?  සමාජය ගැන, දේශපාලනය ගැන දැනුවත් ජනතාව ගැන සංවේදීත්වයක් තියෙන ප්‍රතිපත්තිගරුක සහ හැකියාවක් තියෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැකි පිරිසක් දැන්වත් අවශ්‍යයි. එහෙම නැතිවම පුද්ගලයකු මත රැඳුණු විකාර දේවල්වලින් මේ රට ගොඩනගන්න බැහැ.මේ වෙලාවේ ජනතාවට දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙනවා. හැටනව ලක්‍ෂයක් ඡන්ද දීලා ආණ්ඩුවක පත්කළේ ප්‍රශ්න විසඳන්නයි. කොවිඩ් තත්වය එක්කත් මිනිස්සු විශාල ආර්ථික අසීරුතාවකට වැටීලා. මිනිස්සු බඩගින්න දරා ගන්න බැරිව පාරට බහින තත්ත්වයකට ඇවිත්. ඔවුන්ගේ විරෝධය මඩින්න ආණ්ඩුව සංචරණ සීමා හා කොවිඩ් මර්දන නීති භාවිත කරනවා. මේ නීති නිසි ලෙස යෙදවුවා නම් මේ වනවිට අපේ රටේ රෝගය බොහෝ දුරට පාලනය වෙලා. ඒත් එහෙම නොකළ නිසා සංචරණ සීමා පනවා තිබියදීත් ආසාදිතයන් වැඩිවී මරණ වැඩිවුණා. ආණ්ඩුව කරන මේ සෙල්ලම අමාරුවෙන් හරි තේරුම් අරන් මෙය වෙනස් කිරිමට ඉගෙන ගන්න මේක ජනතාවට ලැබුණ හොඳම අවස්ථාවක්. .

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී පෙර පාසල්වල සිට විශ්වවිද්‍යාල දක්වා විශාල අර්බුදයක් පවතිනවා. රජය ඊට දෙන එකම පිළිතුර ඔන්ලයින් අධ්‍යාපනය විතරයි. ප්‍රායෝගික ප්‍රශ්න සහ තාක්ෂණික ප්‍රශ්න ගැන කිසිම අවධානයක් නැහැ. මේ වෙලාවේ අවශ්‍ය දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනය සහ ඔන්ලයින් අධ්‍යාපනය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තේරුම් ගන්නවත් අධ්‍යාපන ඇමැතිවරයාට හැකියාවක් නැහැ කියන එක ඔප්පු වෙනවා. දුරස්ථ අධ්‍යයාපනයට ක්‍රමවේද කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු එක හමාරක් පුරා මේ අධ්‍යාපනයෙන් ඉතිරි කරලා තියෙන්නේ ළමයින්ට, ගුරුවරුන්ට සහ මවුපියන්ට ලොකු බරක් සහ වේදනාවක් විතරය අපේ තරුණ පරපුරට බරපතළ අසාධාරණය ආණ්ඩුව විසින් කරමින් ඉන්නවා. පවතින අධ්‍යාපනයේ මේ බරපතළ ප්‍රශ්න පවතිද්දී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. රනිල්, මෛත්‍රී ආණ්ඩුව මේ පනත ගෙනා වෙලාවේ පැන නැගුණු විරෝධය නිසා පාර්ලිමේන්තුවේ සභාගත කළේ නැහැ.ඒත් මේ ආණ්ඩුව නැවත එය ගෙනත් තිබෙනවා.



මේ පනත තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තරව ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ උසස් අධ්‍යාපන පරිපාලන යාන්ත්‍රණයක් ඇති කරනවා. එය කොතලාවල විශ්වවිද්‍යාලයට විතරක් නෙවෙයි. වෙනත් උපාධි පිරිනමන ආයතනවලට ඉඩ ලබා දෙනවා. මේ තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වෙනවා. ලෝකයේ කොහෙවත් අධ්‍යාපනය හමුදාවකට බාර දෙන්නේ නැහැ" ජාතික ජන බලවේගයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික මහින්ද රත්නායක මහතා මෙසේ කීය. මේ වනවිට අපේ රට චීනයේ මුරපොළක් හැටියට පවත්වාගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර්ධ මිලිටරි පරිපාලනයක් පිහිටුවමින් මුරපොළ ශක්තිමත් කරන්න කටයුතු කරනවා. මේකට විරුද්ධව ඇමෙරිකාවත් ඉන්දියාවත් පසුගිය සති තුන තුළ ප්‍රධාන තීන්දු ගණනාවක් ගත්තා. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු ඉවත් කිරිම, ජී-7 කණ්ඩායම කැඳවා චිනයට තරගයක් දීම සඳහා එකගත්වයකට පැමිණීම, නේටෝ සංවිධානය කැඳවීම,

රුසියාවේ පුටින් හමුවී න්‍යෂ්ටික බලය පිළිබඳව සාකච්ඡා කිරීම එහි ප්‍රතිඵල. ඉන්දියාව ලංකාවේ චීන හැසිරීම් බලන්න ඩ්‍රෝන යානා මිලදී ගන්න සුදානම් වෙනවා. ඒ වගේම ප්‍රංශයෙන් ප්‍රහාරක යානා ඇණවුම් කළා. මේ අතරතුර යුරෝපා සංගමය රැස්වෙලා ලංකාවේ සිවිල් පරිපාලනය බිඳ වැටීම සහ මෙරට මානව හිමිකම් කඩකිරිම පිළිබඳව විරෝධය දක්වමින් යෝජනාවක් සම්මත කරගත්තා. මීට මුහුණදීම සඳහා නාමල් රාජපක්‍ෂ මැදිහත් වී එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරන බව කීවා. ඒ අනුව 24වැනිදා සිරකරුවන් කොටසක් නිදහස් කළා. ඒත් ඒ අය මාස කිහිපයක් ඇතුළත නිදහස් වෙන්න නියමිතව සිටි අය බව වාර්තා වෙනවා. එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ වුණාට හිටපු නායකයෝ ඔක්කොම එළියේ ඉන්නේ. ප්‍රභාකරන් ළගට හිටපු ඊළඟ නායකයා ළඟ තිබුණු වස්තු සම්භාරයට මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. මේ තත්වය යටතේ ආණ්ඩුවට විරුද්ධව ජාත්‍යන්තර දේශපාලන බලපෑම් විතරක් නෙවෙයි යුදමය බලපෑම් පවා එල්ල වෙන්න ඉඩකඩ තිබෙනවා.

(මුදිතා දයානන්ද)