italy-no-entry-sri-lanka

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම වළක්වාලමින් පනවා තිබූ තහනම ලබන 21 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයන්ට මෙන්ම ඉන්දියාව , බංග්ලාදේශය යන රටවල සිට පැමිණෙන අයටද 

එරටට ඇතුළුවීම තහනම් කිරීමට ඉතාලි රජය පියවරගෙන ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.  ඉන්දියාවේ පැතිරයන කොරෝනා වයිරස් ප්‍රභේදය තම රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ඉකුත් අප්‍රේල් 29 වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක විය.


කලාපයේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි යන බිය හේතූවෙන් ඉතාලි රජය මෙම තහනම දීර්ඝ කළද එම තාවකාලික තහනම ඉතාලි ජාතිකයන් සඳහා අදාළ නොවන බවද එරට බලධාරින් ප්‍රකාශ කර ඇතැයිද රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.  මේ අතර ඉතාලියට ඇතුළුවීමේදී බලපවත්වන නීති දැඩි කිරීම හේතුවෙන් වෙනත් යුරෝපීය රටවලින් ඉතාලියට ඇතුළු වන පුද්ගලයන්ට දින පහක නිරෝධායන කාලයක් හා පැමිණීමට පෙර සහ හුදකලා කාලය අවසානයේදී පී.සී.ආර්. පරික්ෂණ කිරීම අනිවාර්ය කර ඇත.


  -තිළිණි ද සිල්වා-