මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
මාදිවෙල
කොම්පඤ්ඤවීදියේ වැඩ බිමක සේවය කළ අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ මවද කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
ඊයේ (22දා) පෙරවරුවේ ඇය මෙලෙස ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට රැගෙන ගොස් තිබේ.
එසේම අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයාද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මෙම ආසාදිතයින් දෙදෙනා හේතුවෙන් මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.
තවද එම ප්‍රදේශයේ ජනතාවට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර ඇති බවත් ඔවුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දෙමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.
මෙම අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයද එසේත් නැත්නම් වෙනත් කොවිඩ් ප්‍රභේදයක්ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.
ගම්පහ
ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ (22) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48,488 වශයෙන් සඳහන් වෙද්දී දිස්ත්‍රික්කයේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 470 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. ගතවූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් හමුවීම 460 වශයෙන් සිදුව ඇති අතර මින් 58 ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇත. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් අනුව අත්තනගල්ල කොට්ඨාසයෙන් ආසාදිතයන් - 53 ක්, මීගමුව - 48 ක්, බියගම - 41 ක්, දොම්පෙ - 39 ක්, සීදූව - 37 ක්, දිවුලපිටිය සහ කැලණිය - 31 දෙනෙකු වශයෙන්, ගම්පහ - 27 ක්, ජාඇල - 26 ක්, මිනුවන්ගොඩ - 20 ක්, මීරිගම - 19 ක්, වත්තල - 16 ක්, රාගම - 11 ක් සහ කටාන කොට්ඨාසයෙන් වශයෙන් සිදුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂශ කාර්යාලය සඳහන් කරයි.
ඇඹිලිපිටිය
ඇඹිලිපිටිය, කුට්ටිගල පොලීසියේ පස් දෙනකුට කෝවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් පස් දෙනකු පිටස්තර ප්‍රදේශවල පදිංචි නිලධාරීන් වන අතර එක් අයකු එම කොට්ඨාසයේ පදිංචි නිලධාරියෙකි. ඔහුගේ පළමු පෙළ ආශ්රිත නිලධාරීන් මේ මස 23දා පිසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.මේ අතර කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාපන්නේ ග්‍රාම නිලධාරි වසම 21දා අලුයම සිට ලොක්ඩවුන් කර ඇත. එම වසමෙන් කෝවිඩ් 19 ආසාදිතයන් 69ක් වාර්තවීම ඊට හේතුවයි. එසේම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළදගල, මුල්ලෙකන්ද වත්ත කොට්ටල ග්‍රාම සේවා වසම ද ලොක් ඩවුන් කර ඇත.
බගවන්තලාව
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තේ වතු කිහිපයකින් සහ ගම්මාන දෙකකින් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 20 දෙනකු හඳුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය. බගවන්තලාව කර්තකවොල් වතු යායෙන් ආසාදිතයන් 12 දෙනකු, කොටියාගල චැපල්ටන් වතු යායෙන් අසාදිතයන් 10 දෙනකු, සෙසු ආසාදිතයන් බගවන්තලාව ආරියපුර, සිරිපුර සහ පෙට්රොසො, කැම්පියන්, තෙරේසියා වතු යායවල්වලින් හමු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි. ආසාදිතයන් 29 දෙනා අතර වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවත්, ආසාදිතයන් පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වූ නිසා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී නව ආසාදිතයන් 29 දෙනා හඳුනාගත් බව ඔහු පැවැසීය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු ඇතුළු ආසාදිතයන් 20 දෙනකු අලුතින් හඳුනාගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් කීය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදී ගන්නා ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්ත 22 වැනිදා ලැබීමත් සමඟ මෙම නව ආසාදිතයන් හමුවූ බවය. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් චැපල්ටන් වතුයායෙන් ආසාදිතයන් 11ක්, කකචෝඞ් වතුයායෙන් ආසාදිතයන් 15 ක්, රොබ්ගිල්, කැම්පියන්, පෙට්ටසෝ, යන වතුවලින් ආසාදිතයන් 1 ක් බැගින් හා බගවන්තලාව නගරයට ආසන්න ආරියපුර ප්‍රදේශයෙන් එක් ආසාදිතයකු හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතර පිරිමි ආසාදිතයන් 13 හා කාන්තා ආසාදිතයන් 16 සිටින බවද එම නිලධාරියා පැවැසීය.
වටවල
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනයවන වටවල වතු දෙකකින් නව ආසාදිතයන් 11 දෙනෙකු ඊයේ (22) දින හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පැවැසීය. වටවල පොලිස් වසමට අයත් මවුන්ජින් වතු යායේ සහ දියගල වතු යායෙන් නව ආසාදිතයන් හඳුනාගත් බවත්, එම ආසාදිතයන්ගේ වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
බළංගොඩ
බළංගොඩ සහ ඉඹුල්පේ බල ප්‍රදේශවලින් කෝවිඩි මරණ දෙකක් පෙරේදා (21) තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීහු පැවැසූහ. බළංගොඩ අංගම්මැඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක සහ ඉඹුල්පේ පින්නවල ගුරුබැවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි ඔවුහු කියති. එම කාන්තාවන් බළංගොඩ මුලික රෝහලේදී මියගොස් ඇති අතර එහිදී සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙලෙස කොවිච් ආසාදනය වී මියගොස් ඇති බවට තහවුරු වී තිබේ. ඔවුන්ගේ ආදාහන කටයුතු බළංගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
ලුණුගල
ලුණුගල පොලිසියේ පොලිස් සැරයන්වරයකුට කොවිඩ් 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙරේදා (21) පැවැසීය. බිබිල යල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ලුණුගල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකුට මෙසේ කොවිඩ් 19 ආසාදිත වී ඇති බවත්, ඔහු නිවසේ නිරෝධනයට ලක් කර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව පෙරේදා (21) ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවෙන් මොහුට කේවිඩ් 19 ආසාදිත වී ඇති බවට අනාවරණය විනැයි සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසූහ. මෙම කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයා බිඳුණුවැව කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට නියමිතය.
ගාල්ල මාතර හම්බන්තොට
දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් පෙරේදා (21) අලුතෙන් හඳුනාගෙන ඇති කොරෝනා අසාදිතයන් 144සමග දකුණේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19 796 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. ඒ අනුව පෙරේදා ගාල්ල දිසාවෙන් ආසාදිතයන් 65 ක්ද මාතර දිසාවෙන් ආසාදිතයන් 54 ක්ද හම්බන්තොට දිසාවෙන් ආසාදිතයන් 9 ක්ද බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයන් 12 ක්ද කරාපිටිය සහ බලපිටිය රෝහල්වලින් ආසාදිතයන් 3 ක්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 1 ක්ද වශයෙන් ආසාදිතයන් 144 හඳුනාගෙන තිබේ. දකුණු පළාත්තේ පවුල් 5094 ක පුද්ගලයන් 13185 ක් නිරෝධායනයට යොමු කර ඇති බවද වාර්තාවේ.
වැලිගම
කොවිඩ් වයිරසය ආසාදනය වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියකු හා පදරු මවක් කොරෝනා නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණවලදී අනාවරණය විය. මියගොස් ඇත්තේ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදිවි අයෙකු හා ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පදිංචි පදරු මවකි. තිදරු පියා උගුරේ ඇති වූ පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇත. රෝහලේදී කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණයේදී ඔහුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. පස්දරු මව අධික රුධිර පීඩනය හා දියවැඩියා රෝගයෙන් පෙලෙන අයකු වන අතර ඇය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරනු ලැබූ පී.සී. ආර්. පරීක්ෂණෙයේදී කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත.
මොනරාගල
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කොට්ඨාසයෙන් පෙරේදා (21) කොවිඩ් 19 ආසාදිත රෝගීන් තිස්ඒක් දෙනකු හමුවූ බැව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේ අධ්‍ය තුසිත අත්තනායක මහතා පැවැසීය.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමෙන් හමුවූ රෝගීන් සංඛ්‍යාව මෙසේය. බඩල්කුඹුර14, වැල්ලවාය 06, සියඹලාණ්ඩුව 04, බුත්තල 03, මොනරාගල 02, මඩුල්ල 01, කතරගම 01 මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවූ මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 3,250 කි. පුද්ගලයෝ 961 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති.
බියගම
කොවිඩ් 19 ආසාදිතයන් 41 දෙනකු බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඊයේ (22) වාර්තා විය. හෙයියන්තුඩුව, බියගම සහ ගෝනවල මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසවල පළමු පෙළ ආශ්‍රිතයන් 175 දෙනකු සඳහා පෙරේදා (21) වක්කඩවෙල ප්‍රදේශයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලට (ඇන්ටිජන්) අනුව මෙම ආසාදිතයන් 41 දෙනා කොඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ඊයේ (22) බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.
යාපනය
උතුරු පළාතේ දෛනික කොරෝනා ආසාදිතයන් වැඩිම වාර්ත වන යාපනය දිස්ත්‍රික්කය තුළ පමණක් ගෙවුණු දින 21 ක කාලය තුළදී පමණක් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 2053 දෙනකු වාර්තා වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. මෙලෙස දෙනික කොරෝනා ආසාදිතයන් වැඩිවීමට ප්‍රධාන ලෙසින්ම බලපා ඇත්තේ ජනතාව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය නොකිරීම, නිරෝධායන නීති ඇතුළු සංචරණ සීමා උල්ලංඝනය කිරීම වැනි කරුණු නිසා බවද සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.
කැටගොඩ
කැටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකව සිටින 91 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් අනතුරුව සිදුකළ පී.සී. ආර්. පරික්ෂණයේදී ඇයට කොරෝනා වයිරසය ආසාදිත බවට අනාවරණය වූ බව මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒ හේතුවෙන් එහි නේවාසිකව සිටින වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට සහ වැඩිහිටියන් 4 දෙනකුට වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වී ඇත.
අම්බලන්ගොඩ
අම්බලන්ගොඩ ස්ථාන දෙකකදී සිදු කළ අහඹු පී.සී.ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගත් බව අම්බලගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (22) පැවැසීය. අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ හා අම්බලන්ගොඩ මාළු වෙළඳ පොළ ආශ්‍රිතව මේ පරීක්ෂණ සිදු කළ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.ආර්. පාලිත මහතා කීවේය.
0 Comments