kaduwela-incident

කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වන ලක්මාල් විලත්ගමුව නමැත්තා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ද සමග කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂාත ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය. සැකකාර මන්ත්‍රීවරයා සන්තකේ තිබූ ආදායම් බලපත්‍රය ද ව්‍යාජ එකක් බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව ස්ථානාධිපතිවරයා කීවේය.



කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජී.එස්. සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.  ලියාපදිංචි කර නොමැති මෙම වාහනය කොටස් එකලස් කර තනන ලද එකක් බව  ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


සැකකාර මන්ත්‍රීවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මිතුරෙකුගෙන් ලද මෙම වාහනය වසර පහක පමණ කාලයක සිට පරිහරණය කරන බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.  සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්සලම් ද සිල්වා, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක්ක ඒ.ජී.එස්. සුසන්ත යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.