කොරෝනා ආසාදිත රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු හා සහායකයෙක් කැස්බෑව පොලීසිය අද (2) දින අත්අඩංගුවට ගනු ලැබුවේය.
රෝයල් කෙයාර් හොස්පිටල් නමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් පිළියන්දල ප්‍රදේශයේ මෙම ප්‍රතිකාර කරගෙන යමින් තිබූ අතර කහපොළ ප්‍රදේශයේ නිවසකට ඔහුව උපාය මාර්ගිකව ගෙන්වාගෙන තිබුනේ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දරද හවුල් වෙමිනි.
ඇය තමන්ගේ සහෝදරයා කොරෝනා ආසාදිත බවට රඟපා මෙම සේවය ලබාදෙන තැනැත්තාගේ දුරකථන අංකයට විස්තර දී ඇත.
එහිදී මෙම පුද්ගලයා තමා වෛද්‍යවරයෙකු බවත් නිවෙස්වලට පැමිණ කොරෝනා රෝගීන්ට සේවය සලසන බවත් දන්වා ඇත. නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමට රු 11,000 – 13,000ක පමණ මුදලක් වැය වන බවත් පවසා ඇති අතර ඊට එකඟවු වෛද්‍යවරිය සැකකරුට නිවසට පැමිණ ප්‍රතිකාර කරන ලෙස දන්වා තිබේ.
කහපොළ ප්‍රදේශයේ නිවසට වෛද්‍ය සලකුණ සහිත වෑන් රථයකින් ආරක්ෂිත ඇඳුම් පැළඳගෙන වෛද්‍යවරයා ලෙස පැමිණි පුද්ගලයා ඇතුළට කැඳවා ගොස් රෝගියාට ප්‍රතිකාර දෙන්නට සැරසෙද්දී පොලිසිය ඔහු වටකරගන්නා ලදි.
වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබූ වෑන් රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය ද පොලිස් භාරයට ගෙන තිබේ.
නිරෝධායන පනත අනුව කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන්නෙකු සිටින හෝ නිරෝධායනය වන නිවෙසකි යන්න සටහන්වූ නිවසකට ප්‍රදේශය භාර වෛද්‍ය නිලධාරියා දැනුවත් නොකර කිසිවෙකුට ගමන් කිරීම තහනම්ය. එසේම එවැනි නිවාස වලට ගොස් ප්‍රතිකාර ලබාදෙන සේවාවන් පුද්ගලික අංශයට විවෘත කිරීමක් තවම සිදුවී නැත.
කහපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවාසවලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායමක් සිටින බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දරට ලද පැමිණිලි කිහිපයක් අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙලෙස කොවිඩ් ආසාදිත රෝගීන් හතර දෙනෙකු මුළාකර මුදල් ලබාගත් බවට පවසා තිබේ.
ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයාට විදෙස් රටක වෛද්‍ය උපාධියක් ඇති බව පැවසුව ද එය සනාථ කිරීමට ලේඛන කිසිවක් ඔහු සතුව තිබී නැති අතර, සහයකයා ඇඟලුම් කම්හලක හිටපු සේවකයෙක් බවට අනාවරණය වී ඇත.
0 Comments