කොරෝනා ආසාදිතව සිටි මවකගේ කුස තුළ මියගිය සති 37ත් වයසැති බිලිඳු කළලයට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පවසන්නේ එම කළලයේ ඇන්ටිජන් පරික්ෂණයක් සිදුකිරීම මගින් කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැනීමට හැකිවූ බවයි.
මෙලෙස මළ දරු උපතක් සිදුකර ඇත්ෙත් ගාල්ලේ දඩල්ල මහමුදලි මාවත්තේ පදිංචි 31 හැවිරිදි කාත්තාවකි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට සුව වී යළි නිවසට පැමිණ සිටි ඇය පසුගියදා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සඳහා මහමෝදර රෝහලට ඇතුළත් වී ඇත. පසුගිය 31 වැනිදා ඇගේ නූපන් බිලිඳිය කුස තුළම මියගොස් සිටියාය. මෙම මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (02) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය දන්දෙණියආරච්චි මහත්මිය එම සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇත.
ඇය පවසන්නේ දරුවාගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්වයක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳ තීරණය කිරිමට සිදුවන්නේ එම වාර්තා ලැබීමෙන් පසුව බවයි. මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික බී.ජී.එන්. කරුණාතිලක මහතා විසින් සිදුකරන ලද අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය නිර්දේශය සැලකිල්ලට ගෙන විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
-කේ.එල් චාමින්ද -
0 Comments