කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැඛව මහේස්ත්‍රාත් රුචීර වැලිවත්ත මහතාට ඉර්ෂත් කරනු ලැබීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීය.
පසුව මෙම පිරිස සෞඛ්‍ය නිලධාරින් මාර්ගයෙන් නිරෝධායනයට යොමු කරන ලදැයි කැස්බෑව පොලීසිය පවසයි. ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරක් අනුව කැබෑවටම පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කරනු ලැබ ඇත්තේ පෙරේදා (8) රාත්‍රියේදීය. අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර එම හෝටලයේ හිමිකරුගේ පෙම්වතිය ඇතුළු කාන්තාවන් පස් දෙනකු ද වෙතියි කැස්බෑව පොලිස් ස්ථානාධිපති මාලින්ද අබේරත්න මහතා පැවැසීය. උපන්දින සාදය වැටලූ පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයේ තිබී කේක් ගෙඩියක කොටසක් ද සංගීත සපයන උපකරණයක් ද ජංගම දුරකතන නවයක්, සිගරැට් පැකැට් කිහිපයක් සහ ගංජා ග්‍රෑම් දෙකක් ද අත්අඩංගුවට ගනු ලැබීය. හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයකු වෙනුවෙන් මෙම උපන්දින සාදය පවත්වා ඇතැයි කියති. අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර එම පුද්ගලයා ද වෙයි.
පිරිස උපන්දින කේක් ගෙඩිය කපා අනුභව කිරිමෙන් පසුව එහි වාදනය වූ සංගීතයට අනුව දිගු වේලාවක් එහි නර්තනයක ද යෙදී ඇතැයි පොලිස් පරික්ෂණවලදී තොරතුරු හෙළි වී ඇත. පිරිස සංචරණ සීමා නොතකා ගංජා ඇතුළු භාණ්ඩ පැමිණි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම උපන්දින සාදයට සහභාගි වී ඇති බවත්, අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන්ගෙන් කිහිප දෙනකු කොළඹ සමාජශාලාවල සේවය කරන්නියන් බවත් පොලිසිය පවසයි. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් නියම කෙරුණු දඩ මුදලට අමතරව ගංජා ග්‍රෑම් 2ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙත් හෝටලයේ හිමිකරුට රුපියල් 5,000ක දඩ මුදලක් ද නියම කර ඇත. කැස්බෑව පොලිස් ස්ථානාධිපති මාලින්ද අබේරත්න මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් එම වැටලීම සිදුකළහ.
සුජිත් හේවාජුලිගේ - බිමල් ශ්‍යාමන්
0 Comments