ඔවුන්ගේ පියා නිවෙසට සැතපුමක් පමණ දුරින් පිහිටි මා ඔයේ බොලගම මංකඩට දිය නෑමට දරුවන් දෙදෙනා සිය යතුරු පැදියෙන් කැඳවා ගෙන ගොස් ඇති අතර ඊට ටික වේලාවකට පසුව නිවසට ආපසු පැමිණ ඇති ඔහු දරුවන් දෙදෙනා නිවසට පැමිණිය ද යන්න විමසා ඇත. එයින් කලබලයට පත් බිරිය ඔවුන් දෙදෙනා නිවෙසට නොපැමිණි බව පවසා දරුවන් සෙවීමට සැමියා සමග යතුරු පැදියෙන්ම මාඔයේ ඔවුන් දිය නෑ ස්ථානයට ගොස් ඇතත් දරුවන් දෙදෙනා අතුරුදන් වී ඇති බව දුටු බිරිය කෑගැසීම ඇසී එතැනට එක් වූ අවට ජනතාව දරුවන් සෙවීමට පටන් ගෙන තිබේ.
ප්රදේශයම කම්පා කරමින් ඇති වූ මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා ගැනීමට වැලිකන්දේ පිහිටි ඔහුගේ නිවෙසට යන විට එම දරුවන්ගේ මව වූ ඇන්.ජී. බණ්ඩාර මැණිකේ 41 මහත්මිය දියේ ගිලී මියගොස් සිටි කලින් දින සවස සොයාගත් තම පුතුන්ගේ සිරුර රැගෙන ඒම සඳහා කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් සිටි අතර නිවසේ සිටි කිරි අම්මා වන ඩී.ඒ. සෝමාවතී 71 මහත්මිය මෙසේ කීවාය.
මියගොස් ඇත්තේ මගේ දුවගේ දරුවන් දෙදෙනායි. මමත් පදිංචිව ඉන්නේ දුවගේ ගෙදරමයි. පසුගිය සිකුරාදා දහවල් එක හමාරට විතර ගෙදර ආපු බෑනා දරුවන් දෙන්නට මා ඔයේ දියනාන්න යන කතා කළා. වෙනදා ළමයි දෙන්නා නාන්නේ ගෙදරින්මයි. දුවත් මමත් දෙන්නාම එයට විරුද්ධ වුණා. ඒත් බෑනා දරුවෝ දෙන්නා මෝටර් සයිකලයේ නංවාගෙන පිටත්ව ගියා. ඊට ටික වේලාවකට පස්සේ ළමයින්ට දෙන්නාගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ආපු බෑනා දරුවන් ගෙදර ආවාද කියලා ඇසුවා. අපි ආවේ නෑ කිව්වට පස්සේ බයිසිකලය ආපහු හරවා ගෙන යන්න හදද්දී දුවත් ඒකේ නැගලා ගියා. දුව ගිහින් ඔය ළඟ හොයලා බලන කොට දරුවන් දෙන්න දකින්න නැති නිසා කෑ ගහදී අවට මිනිස්සු එතැන්ට එක්රැස් වෙලා තියෙනවා. එතකොට බෑනා දරුවන් හොයන්න කියලා ඔයට පැනලා තියෙනවා. බෑනාත් ගිලෙනවා දැකපු කීපදෙනෙක් එයා පැනලා ද බේරාගෙන ගොඩට ගෙනත් තියෙනවා. ළමයි එක්ක ඔයට ගිය බෑනා උණ පඳුරක් යට බයිට් කකා ඉන්නකොට නින්ද ගිහින් තියෙනවා.
ඇහැරිලා බලන කොට ළමයි දෙන්නා දකින්න ලැබුණේ නැති නිසා කාටවත් නොකියා ගෙදර ඇවිදින් තියෙනවා. මාඔයේ දියේ ගිලී මියගිය පිරිමි දරුවාගේ සිරුර එදින සිකුරාදා දින සවස 4.00ට පමණ සොයාගත් අතර, ගැහැනු දරුවාගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිසියේ හා නාවුක හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් එක්ව සිදුකළ අතර, ගැහැනු දරුවාගේ සිරුර සෙනසුරාදා දින සවස 5.00ට පමණ සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වූ යෝදගම ප්රදේශයේ දී ප්රදේශවාසීන් විසින් සොයා ගනු ලැබීය. මියගිය දරුවාගේ පියා පොලිසියේ පොලිස් බාරයට ගැනීම සම්බන්ධයෙන් රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක මැරකම් ප්ලේට් මහතාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ ඔහුගේ ජීවිත ආරක්ෂාව සඳහා පොලිසියට රැගෙන ආ බවත් දරුවන්ගේ සිරුරු දෙකම සොයාගත් පසු ඔහු ආපසු යැවීමට කටයුතු කළ බවත්ය.
- කරුණාරත්න අතුකෝරාල -
0 Comments