mat-hancock-kiss

කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, පුද්ගල දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ දුන් උපදෙස් සැලකිල්ලට නොගෙන, කාර්යාල මිතුරියක සිපගත්තේ යැයි චෝදනාවට ලක්වූ සෞඛ්‍ය ලේකම් (ඇමැති) මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. මැට් හැන්කොක්, රාජකාරි වේලාවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දී සිපගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස රාජකාරි කරන ජීනා කොලඩැන්ගෙලෝ වය.   පසුගිය මැයි 6 වැනිදා දෙදෙනා සිප ගන්නා අයුරු දැක්වෙන වීඩීයෝ දසුන් සහ ඡායාරූප බ්‍රිතාන්‍ය වැසියන්ට අනාවරණය කළේ එරට "ද සන්" මාධ්‍ය ජාලයයි. ‘සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නැයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙදී. සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශිකාව සිපගන්නවා' යන සිරස්තල යටතේ ඉපසු බ්‍රිතාන්‍ය පුවත්පත් හරහා ප්‍රචාරය වූ අතර මැට් හැන්කොක් ට විරෝධයක් එල්ල වීමට පටන්  ගත්තේ ඉන්පසුවය.



“මා කළේ වරදක්. කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව බොහෝ කැප කිරීම් කරද්දී, මා මගේ පුද්ගලික හැඟීම්වලට වහල්වීම වරදක් බව මට තේරෙනවා" යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපිය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කරමින් මැට් හැන්කොක් පවසා ඇත. අග්‍රාමාත්‍ය  බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට ගත් තීරණය කනගාටුවට කරුණක් බවය.



හතළිස් දෙහැවිරිදි මැට් හැන්කොක්, වසර 15 ක් තිස්සේ විවාහ වී සිටියේ මාර්තා සමගය. කෙසේ නමුත් ඔහු මේ වනවිට ඇයගෙන් වෙන්වී සිටින බව  බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මැට් හැන්කොක්ට දරුවන් තිදෙනෙකි. ජීනා කොලඩැන්ගෙලෝ ද තිදරු මවකි.  මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ අවස්ථාවේදී තමන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත් වන බව 43 හැවිරිදි ජිනා මාධ්‍ය හමුවේ පැවැසුවාය.  ජීනා කොලඩැන්ගෙලෝ කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි. බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපා රටවලත් අතිශය ජනප්‍රිය  ඔන්ලයින් රෙදිපිලි අලෙවි කරන සමාගමක් වන “ඔලිවර් බොනාස්” සමාගම ආරම්භ කළ ඔලිවර්  ට්‍රෙස්ගේ බිරිද වන්නේ ජීනාය. ජීනා, “ඔලිවර් බොනාස්' සමාගමේ සන්නිවේදන කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන අතර, ඇය එම සමාගමේ කොටස්කාරියකි. ඊට අමතරව, ජීනා බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පෞද්ගලික අංශයේ සේවාදායකයන් සම්බන්ධ කරන ‘ලූතර් පෙන්ඩැගන්" සමාගමේ ද කොටස්කාරියක වන්නීය.
ජීනා කොලඩැන්ගෙලෝ   සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක   නොවන උපදේශිකාවක ලෙස පත් කළේ ද මැට් හැන්කොක් ය. ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙන අන්දමට මැට් හැන්කොක් සහ ජනා කොලඩැගෙලෝ එකිනෙකා දැන හඳුනනේ ඔස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දීය. ජීනා, වසර ගණනාවක් තිස්සේ තමන්ගේ සමීපතම මිතුරියක යැයි මැට් හැන්කොක් අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ පවසා ඇත. සෞඛ්‍ය ලේකම් ධුරයෙන් මැට් හැන්කොක් ඉවත් වීමත් සමග නව සෞඛ්‍ය ලේකම්වරයා  ලෙස සජීද් ජාවිද් පත් කළ බව ද වාර්තා වේ.