meepura-wheel-alignment-murder

 මීගමුවේ කෝටිපති ව්‍යාපාරිකයකුව සිටි ‘මීපුර වීල් අලයින්මන්ට්ස්’ නමැති මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ෂලින්ද්‍ර ප්‍රනාන්දු  ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ විවාහක බිරිය හා නිවසේ වැඩ කළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම ව්‍යාපාරිකයා තිදරු පියෙකු වූ අතර ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මසදී නිදියහනේදීම අභිරහස් ලෙස මියගොස් තිබුණි. නමුත් මෙම මරණය හිසේ ගෙඩියක් තිබී පිපිරීමෙන් සාමකාමීව සිදුවූවක් බවට ඔහුගේ බිරිය ප්‍රකාශ කර තිබූ අතර පුවත්පත්වල මරණ දැන්වීම් මගින් ඔහු සාමකාමීව සාමදානයේ සැතපුණ බව දන්වා තිබුණි.
නමුත් මෙම ව්‍යාපාරිකයා මීට කලින් විවාහවී සිටි බව කියන තැනැත්තිය මරණය සැකසහිත බවට කළ පැමිණිල්ලකින් අනතුරුව පරීක්ෂණ පැවැත්වීමේදී මෙය දෙවන බිරිය සේවකයෙකු දම්මවා සිදු කළ ඝාතනයක් බවට කරුණු හෙළීව ඇත.
 ඒ  අනුව ඇය සහ සේවකයෙකු අත්අඩංගුවට පත්විය.
තම විවාහක සැමියා නිවසේ සේවකයා සමග එක්ව ඔහු නිදියහනේදී අමානුෂික ලෙස හුස්ම සිරකර ඝාතනය කළ බව කියන මියගිය ව්‍යාපාරිකයාගේ විවාහක බිරිඳ සහ ඝාතනයට සහාය දුන් සේවකයා ජුනි මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නිශේන්ද්‍ර ඒකනායක මහතා (24 දා) නියෝග කළේය.
 රිමාන්ඞ් භාරයට පත් කළ සැකකරුවන් වූයේ තිදරු මවක වන ඊ. ඒ. පුණ්‍යා දීපානි අතුකෝරළ (52) බිරිඳ සහ සේවකයා වන මස්කෙළියේ පදිංචි මුත්තුසාමි පලයණ්ඩි (50) නමැත්තන්ය. මෙම සිද්ධියේදී මරණයට පත්වූයේ මීගමුවේ සුපිරි කෝටිපති ව්‍යාපාරිකයකුව සිටි ඩබ්ලිව්. එස්. ෂලින්ද්‍ර ප‍්‍රියදර්ශන ප‍්‍රනාන්දු (58) මහතාය.



 මෙම ව්‍යාපාරිකයා 2020 ඔක්තෝබර් මස 3 වැනි දින නිදි යහනේදී මරණයට පත්විය. මොහු මීගමුව කොළඹ පාර තෙල්වත්ත හන්දියට නුදුරින් පිහිටි ‘මීපුර වීල් අලයින්මන්ට්ස් ’ නමැති මහා පරිපාණ ව්‍යාපාරික ආයතනයේ හිමිකරු විය. මිය ගිය ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව දිස්ත‍්‍රික් රෝහලේදී සිදු කරන ලදී. එහිදී මියගිය අයගේ හිස තුළ ගෙඩියක් පුපුරා යෑමෙන් මරණය සිදුව ඇති බව නිගමනයකර ඇත.
 
 මෙම මරණය සැක සහිත මරණයක් බවට එම ව්‍යාපාරිකයාගේ පළමු බිරිඳ (කලින් බිරිඳ) සහ ව්‍යාපාරිකයාගේ ඥාතීන් පොලිස්පතිවරයාට සහ අදාළ වගකිවයුතු අංශ වෙත පැමිණිලිකොට ඇත.
 
 ඒ අනුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ මෙහෙයවීම මත මීගමුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර වුඞ්ලර් මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා විසින් නැවත විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ සේවකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී සැකකාර සේවකයා පොලිසියට පාපොච්චාරණයක්කර ඇත. එහිදී සේවකයා ප‍්‍රකාශකර ඇත්තේ ව්‍යාපාරිකයා මියගිය දිනයේ රාත‍්‍රි 11.00 ට පමණ සැකකාර ව්‍යාපාරිකයාගේ බිරිඳ තමාව ව්‍යාපාරිකයා නිදන කාමරයට කැඳවූ බවත් පසුව ව්‍යාපාරිකයාගේ බිරිඳගේ ලබා දුන් උපදෙස් මත තමා කොට්ටයකින් මුහුණ වසා තදකර හුස්ම සිරකළ බවත් එම අවස්ථාවේ ව්‍යාපාරික බිරිඳ තම සැමියාගේ කකුල් සිරකර අල්ලා සිටි බවත් සේවකයා පොලිසියට ප‍්‍රකාශකර ඇත.
 
 මෙහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පිළිබඳ වෛද්‍යවරයාගෙන් ඇතුළු ව්‍යාපාරිකයාගේ ඥාතීන්ගෙන් කට උත්තර ලබා ගෙන ඇත. මෙහිදී සැකකාර බිරිඳ තම සැමියා ඝාතනය කළ බවට එල්ලවී ඇති චෝදනාව ප‍්‍රතික්ෂේපකර ඇත.

මෘත ශරීරය මිහිදන් කළ ස්ථානයට පොලිස් මුර දමා ඇති අතර මෘත ශරීරය ගොඩගැනීමට නියමිතය.
 
 මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා, මීගමුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර වුඞ්ලර් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා විමර්ශන කටයුතු පැවැත් විය. වැඩිදුර විභාගය ජුනි මස 30 වැනි දින පැවැත්වේ.



තොරතුරු - මීගමුව විමල් කීර්ති