minuwangoda-kite-murder

සරුංගලයක් සම්බන්ධ සිද්ධියක් මුල්කර ගනිමින් මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේ 23 හැවිරිදි එක්දරු පියකු කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධියකට අදාළව පියකු සහ පුතුන් දෙදෙනකු ඇතුළු සැකකරුවෝ පස් දෙනෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබුහ.  මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයකු සහ ඔහුගේ 24 සහ 22 හැවිරිදි පුතුන් දෙදෙනාද, මිනුවන්ගොඩ කලහගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සහ මරණකරුට දුරකතන ඇමතුමක් ලබාදී නිවෙසින් ගෙන්වා ගත් බව කියන කොටගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයකු ද ඇතුළු සැකකරුවෝ පස් දෙනෙක් පොලිසිය විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබ සිටිති.




 මෙම සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේ පිලිපැන්නගේ ලක්ෂිත ලක්මාල් සිල්වා හෙවත් 'සුදු' නමැති එක්දරු පියෙකි.  මෙම සිද්ධියට අදාළ පස්වැනි සැකකරු වන මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයා, මරණකරුට දුරකතන ඇමතුමක් ලබාදී ඔහු නිවෙසින් එළියට ගෙන්වාගෙන ඇති බවත් පසුව සැකකරු මරණකරු සමග කතාකරමින් සිටිය දී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් මම ඝාතනය කර ඇති බවත් පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි සඳහන් වෙයි. නිවෙසේ රැදී සිටි මරණකරු ඔහුගේ යතුරු පැදියෙන් නිවෙසේ සිට පැමිණ ඇති බවත්, ඔහු පස්වැනි සැකකරු සමග කතා බකරමින් සිටිය දී මෝටර් රථයේ පැමිණි සැකකරුවන් ඔහු හප්පා ඇති බවත් විමර්ශනවල දී හෙළි වී ඇතැයි පොලිසිය කියයි. මෙම සිද්ධියේදී යතුරු පැදියෙන් බිමට පෙරළී ගොස් ඇති මරණකරු නැගිට දිව යාමේ දී සැකකරුවන් යකඩ පොල්ලකින් හා මන්නා පිහිවලින් කපා කොටා ඔහු ඝාතනය කර ඇති බව ද විමර්ශනවල දී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  ඒ අනුව සැකකරුවන් සමග නවීන පන්නයේ මෝටර් රථයක් අඟල් 21 ක් සහ අඟල් 15ක් දිග මන්නා පිහි දෙකක් යකඩ පොල්ලක් ජංගම දුරකතන 3ක් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

2017 වර්ෂයේ අගෝස්තු 26 වැනිදා මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ දී කරවල වෙළඳාම් කරන ව්‍යාපාරිකයකු වූ 50 හැවිරිදි පී. ලාල් සිල්වා

සහ ඔහුගේ පුතකු වූ 25 හැවිරිදි සුරාජ් ධනංජය ප්‍රේමිරි ද සිල්වා යන පියපුතු දෙදෙනාට තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙහි පළමු සැකකරු සහ ඔහුගේ පුත්‍රයකු මීගමුව මහාධිකරණය මගින් නියම කරන ලද ඇප මත සිටින සැකකරුවන් දෙදෙනකු බව ද පොලිසිය කීය. මරණකරුද සැකකරුවන්ගේ ඥාතියකු ඝාතනය කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ ඇප ලබා සිටි අයකු බව ද පොලිසිය කියයි.  අත්අඩංගුවට පත් සැකයකුවන් පස්දෙනා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.


 -ටෝනි කරුණානායක-