pahiyangala-incident

බුලත්සිංහල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුකොට ගෙන නාය යැමේ අවදානමට ලක්වීම නිසා බුලත්සිංහල පාහියංගල ගල්ලෙන් විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 10 දෙනෙකු තාවකාලික ස්ථානයකට වැඩමකර නේවාසිකව සිටින බව පාහියංගල ගල්ලෙන් විහාරාධිපති පූජ්‍ය යටගම්පිටියේ චන්දිම හිමියෝ පැවසූහ.පසුගිය 04 සිකුරාදා රාත්‍රී 1.00ට පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කරන ලද දැනුම්දීම සහ පසුදින පැමිණි නිලධාරීන්ගේ දැනුම් දීමකට අනුව මෙසේ ඉවත් වූ බවත් මේ වනවිට බුලත්සිංහල දඹල ප්‍රදේශයේ ආපදා සහනසේවා ගම්මානයේ කුඩා කුටියක වැඩවාසය කරන බවද උන්වහන්සේ පවසා සිටියහ.  පාහියංගල ගල්ලෙන් පරිශ්‍රයේ මේ වනවිට ස්ථාපිත කර ඇති නාය යෑම් අනතුරු ඇගවීම් සහ වර්ෂාපතනය දැක්වෙන නවීන උපකරණයස්වයංක්‍රීයම ක්‍රියාත්මක වීමෙන් එම දත්ත අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යොමුවීමෙන් පසුව මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත. මෙම මෙයට පෙරද 2017 වර්ෂයේ මැයි මස 25 වැනිදා පාහියංගල ගල්ලෙනේ වම්පස ජයලත්ගොඩ ප්‍රදේශය දරුණු නාය යාමකට ලක්වූ අතර මිනිස් ජීවිත 26ක් අහිමි වී වසර 04ක් ඉක්මන මොහොතේ නැවත මෙලෙස නාය යැමේ අවදානමකට මුහුණ පා සිටිති. එම අවස්ථාවේ දී මෙම හිමිවරුන් තාවකාලිකව නවාතැන්ගෙන සිටියේ ගම්වැසියෙකු ලබා දුන් නිවසකය.

එම නාය යැමෙන් පසුව මේ වනවිට රජය මගින් පාහියංගල ගල්ලෙන සහ ඒ අවට ප්‍රදේශය නාය යැමේ අවදානමෙන් මුදා ගැනීමට සරක්‍ෂණ කටයුතු දියත් කර ඇත. පසුගිය කාලවකවානුවේ බුලත්සිංහල ප්‍රදේශයේ නාය යාමේ ආපදාවට ලක්වූවන්ට රණ්ය මගින් ඉඩම් සහ නිවාස ලබා දී පදිංචිකර ඇත්තේ මෙම ගම්මානයේ වන අතර මේ වනවිට එහි පවුල් 80ක් පමණ පදිංචිව සිටිති.

මෙම ගම්මානයේ පැවති කුඩා ආරාමයක මෙම ස්වාමීන් වහන්සේලා තාවකාලිකව වැඩවාසය කරති. මෙම ස්ථානය ඉදිරියේදී බුලත්සිංහල කලාපයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වශයෙන් පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් එසේ වුවහොත් නිරන්තරයෙන් ගංවතුර ආපදාවට ලක්වන බුලත්සිංහල කලාපයේ ගම්මාන රැසක ජනතාව තාවකාලිකව රඳවා තබා ගත හැකි බවත් පාහිංයගල විහාරාධිපති හිමියෝ පවසති. බුලත්සිහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා ඇතුළු නිලධාරින් මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය පසුකම් සැපයීම සම්බන්ධයෙන් සොයා බැලූ බවත් පැවසූ විහාරාධිපති හිමියෝ ගම්වාසීන් ඉතා කැමැත්තෙන් සිවිපසයෙන් සංග්‍රහ කරන බවද වැඩිදුරටත් පැවසුහ.

 (අඟුරුවාතොට - මංගල එදිරිසිංහ)