pcr-test-low-due-to-strike

මේ දිනවල සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණ ඉතා අඩු මට්ටමක පවතින අතර ඒ නිසා කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක්ද හඳුනාගන්නට ලැබේ. මින් ඉහත 25000 කට ආසන්න දෛනික පීසීආර් සිදු කළත් 26 වනදා 14110 ක් 27 වනදා 18342 ක් හා 28 වනදා 18008 ක් ලෙස පීසීආර් පරීක්ෂන සිදු කර ඇත.



හෙද සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. මෙම අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණද, බලධාරීන් අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කර නොමැති බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සතියට දින හයක් සේවය කරන හෙද නිලධාරීන්ට සතියට දින පහක වැඩ කාලයක් ලබාදීම, හෙද සේවයට එක්වන පිරිසට වසර පහක සේවා කාලයකින් පසු පළමු උසස් වීම් ලබාදීම, මාණ්ඩලික සේවා තත්ත්වය ලබාදීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින බවද ඔහු පවසා සිටියේය. හෙද නිලධාරින් අදාළ පරික්ෂණ කටයුතුවලින් ඉවත් වීම නිසා රෝහල් තුළ සිදුකරන පීසීආර් ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

(එච්.අයි. තුෂාර)