piyananda-thera-kahatagasdigiliya

කහටගස්දිගිලිය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) දියනාමින් සිටියදී කිඹුලකුට ගොදුරුවීමට ගිය 70 හැවිරිදි පුද්ගලයකු බේරාගැනීමට භික්ෂුන්වහන්සේ නමක් සමත්වූහ. දියනාමින් සිටි පුද්ගලයකු කිඹුලකු විසින් ගඟ මැදට ඇදගෙන යනු දැක ඇති එම භික්ෂූන් වහන්සේ වහා ගඟට  පැන කිඹුලා සමග පොරබැද මහත්  පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා බේරාගෙන ඇතැයිද කහටගස්දිගිලිය පොලිසිය කියයි.  දියමයිලගස්වැව ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ වැඩවාසය කරන 30 හැවිරිදි පැල්ලදෙනියේ පියනන්ද හිමියන් ඊයේ වැවේ දිය නා ගොඩට  පැමිණි අවස්ථාවේ දියනාමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයාගේ කෑගැසීමක් ඇසී බැලීමේදී කිඹුලෙකු ඔහු ගඟමැදට ඇදගෙන යන අයුරු දැක ඇති අතර පියනන්ද හිමියන් වහා ගඟට පැන ඔහු බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් ඇතැයිද පොලිසිය පවසයි.



මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දියමයිලගස්වැව ප්‍රදේශයේ පදිංචි ජේ.එම්. විජේරත්න නමැත්තෙකුවන අතර ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කියයි.  විජේරත්න මහතාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.  විජේරත්න මහතා බේරාගැනීම සඳහා කිඹුලා සමග පොරබැදුම භික්ෂූන්වහන්සේ කිසිදු අනතුරක්  සිදුව නැතැයිද පැවසේ. සිද්ධිය සැලවීමත් සමග විහාරස්ථානයට පැමිණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක පී.එස්. අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් භික්ෂූන්  වහන්සේගෙන් තොරතුරු විමසා එම නිරහිත ක්‍රියාව වෙනුවෙන් උන්වහන්සේ ප්‍රශංසාව පළකර තිබිණ.


 -එස්.පී. උබේපාල -