චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි එක්ව ෂැංග්‍රිලා හෝටලයේ කාමරයක සංවිධානය කර තිබු සාදයට සහභාගී වී තිබූ 13 දෙනෙකු අද සවස අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා නියෝග කරන ලද අතර අනතුරුව රජයේ නිරෝධායන පනත ප්‍රකාරව පොලිසිය මගින් ඔවුන් නිරෝධායනයට යොමු කරන ලදි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක පැවැති සාදයට සහභාගී වීම සම්බන්ධයෙන් පෙරේදා පියුමි හා චන්දිමාල්ද ඊයේ 6 දෙනෙකුද අද  07 දෙනෙකුද එකතුව 15 දෙනෙකු මේ ආකාරයට නිරෝධායනයට යොමු කෙරිණි.මෙම සාදය සඳහා 30 කට ආසන්න පිරිසක් සම්බන්ධ වී ඇති බව වාර්තා වුවද පොලිසිය අල්ලාගත්තේ ඉන් අඩකි.


පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරුවන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඉකුත් 30 වනදා කොළඹ හෝටල් කාමරයක් තුළ උපන්දින සාදයක් පවත්වා ඇති බව චෝදනා කරන ලදි.
සැකකරුවන් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමු අධිකරණය එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.නිරෝධායනයට නියම කිරීමට අධිකරණයට බලයක් නොමැති නිසා එය පොලිසියට කළ හැකි බව මහේස්ත්‍රාත් වරයා දන්වා සිටියේය.
ඒ අනුව පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියෝග කර තිබෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පැමිණ කරුණු පැහැදිලි කර දී අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරුවන් පොලිස් බස් රථයකින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා රැගෙන ගොස් තිබුණි.
ඔවුන් නිරෝධායනයට ලක් කිරීම සඳහා පස්සර ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද සවස යොමු කරන ලද මුත් එයට විරෝධයක් එල්ල විය.
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක නිරෝධායනය වීම සඳහා අවසර ඉල්ලුවත් ඊට ඉඩ නොලැබුණු බව ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලි සඳහන් කර සිටියාය.


මේ අතර අධිකරණයෙන් ඇප ලබාදුන් පිරිස නිරෝධායනයට රැගෙනයාම සඳහා කොටුව පොලිසිය වෙත ගොස් එහි සිට බස් රථවලින් පස්සරට ගෙනයාමට විධිවිධාන යොදා තිබූ අතර එම අවස්ථාවේ මාධ්‍ය කාමරා ශිල්පීන් විශාල පිරිසක් රොක්වී ඔවුන් වීඩියෝගත කරමින් හැසිරීම සම්බන්ධයෙන් ඇප ලද පිරිස අතර සිටි දිවුලපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී භාගේස්වරී මධුෂිකා විරෝධය පළ කළාය. ‘අපි දරුවො ඉන්න අම්මලා.. මේ විදිහට හැසිරෙන්න එපා ‘ ඇය කෑ ගැසුවාය.
පොලිස් නිලධාරියෙක් ඇයට කතාවට ඉඩ නොදී බස් රථයට නංවා ගත්තේය. මේ අතර පිටත සිටි තවත් පුද්ගලයෙකු කියා සිටියේ අර මොරටුවෙ නගරාධිපතිගේ ගෝලයො අධිකරණය ළඟ හැසිරුණ විදිහට නීති නැහැ. මේවට තමා නීති ලෙසිනි.