පොලොන්නරුව සහ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොවිපළවල සේවය කරමින් සිටියදී කැලෑ සතුන් වෙඩිතබා මරා එම මස් විකිණීමේ ජාවාරමක් කලක සිට සිදුකළ බව කියන හතර දෙනකු වල් ඌරකුගේ සහ වඳුරකුගේ මස් තොගයක්ද සමග පසුගියදා 19 වැනිදා අත් අඩංගුවට ගත් බව සෝමාවතිය වනජීවි නිලධාරිහු කියති. දඩයම් කරන වන සතුන්ගේ මස් වැලිකන්ද, සෙවනපිටිය, පොලොන්නරුව, කදුරුවෙල ආදී නගරවලට හොර රහසේ රැගෙන ගොස් මුදලට අලෙවිකරන බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් ඇඹිලිපිටිය, මොණරාගල, පොලොන්නරුව, වැලිකන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
මොවුන් මෙම වන සතුන් දඩයම් කිරීම සඳහා උපයෝගීකරගත් බව කියන බෝර 12 පතරොම් තුවත්තුවක්, වෙඩි බෙහෙත් කොටන තුවක්කු දෙකක් ඇතුළු ගිනි අවි 05ක්ද සැකකරුවන් සන්තකයේ තිබී අත් අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරින්ට හැකිවී ඇත. ඒ සඳහා යොදන මූණිස්සම්, වෙඩි බෙහෙත් ආදියද වන බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවැසූහ. මොවුන් විසින් මේ ගිනි අව් භාවිත කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටම ආහාර සොයා පැමිණෙන වල් අලින්ටද වෙඩි තබා තිබෙන බව විමර්ශනවලදී හෙළිවූ බවද එම නිලධාරිහු කීහ. තමන් සේවය කරන ගොවිපොළවල හිමිකරුවන් මේ ගිනි අවි ලබාදී ඇත්තේ ගොවිපොළට පැමිණෙන වන අලින්ට වෙඩි තැබීම සඳහා බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශකර තිබේ.
මහවැලි කලාපය බාර වනජීවී සහකාර අධ්යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වනජීවී අඩවි ආරක්ෂක පී.ජී.ඒ.එස්.වී. පාලින්ද, වනජීවී අඩවි සහකාර ඩබ්ලිව්.එම්.සී.ඒ. වනසිංහ, වනජිවී නියාමක එම්. රොෂාත, රියැදුරු ආර්.එම්.කේ. රණබාහු යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.
- ඩබ්ලිව්.ඒ. පියතිලක-
0 Comments